ලක්දිව වැඩසිටි රහතන් වහන්සේලා - 7
ලංකාද්වීපයේ රුහුණු ජනපදයෙහි ‘කෙළෙඹිය’ නම් විහාරයක් පිහිටා තිබුණේය. ඒ විහාරයෙහි මහත් වු ශ්‍රද්ධා ඇති තිස්සනාග නම් මහා තෙරුන් වහන්සේනමක් ප්‍රධානව වසන සේක. උන්වහන්සේ එක් දිනක් අමර ලෙන වසන සිව්පිළිසිඹියා පත් තිස්ස මහරහතන් වහන්සේ සමීපයට ගොස් පත්කඩය එළා වැඳ එකත්පස්ව වාඩිවුණ සේක. නේවාසික තෙරුන් වහන්සේලා ද පැමිණ මිහිරි වූ පිළිසඳර බස් කථා කොට එක් පැත්තකින් වාඩි වී උන් සේක. එවිට තිස්ස මහරහතන් වහන්සේ අවවාද වශයෙන් කියනුයේ, “ඇවැත්නි, සැදැහැයෙන් මහණ වූ ඔබවහන්සේලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව ආචාර ගෝචර සම්පන්නව වාසය කළ යුතුයි. ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුතුව සිහිනුවණින් වාසය කළ යුතුයි. ආජීව පාරිශුද්ධ සීලය ආරක්ෂා කරගත යුතුයි. මිථ්‍යා ආජීවයෙන් දුරුව කෙලෙස් තවන වීර්යය නමැති සම්පත්තියෙන් වාසය කළ යුත්තේය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදී සිව්පසය නුවණින් යුතුව පරිභෝග කරමින් ප්‍රත්‍යය සංනිශ්‍රිත සීලයෙන් වාසය කළ යුතු වන්නේ ය. මෙසේ චතුපාරිශුද්ධ සීලයෙහි පිහිටා පිරිසිදු සිල් ඇතිව වාසය කරන භාවනානුයෝගයෙන් වීර්යය කරන්නාහට මාර්ග ඵල ලැබීම වහාම සිද්ධ වන්නේය. එබැවින් පළමුකොට සිල් පිරිසිදු කරගත යුතුයි.” මෙසේ අවවාද කොට සිල් රැකීමෙහි උනන්දුව ඇති කරමින් ආනිශංස වශයෙන් උන්වහන්සේ මෙසේ වදාළ සේක. “ඇවැත්නි, මේ බුද්ධ ශාසනයෙහි ශ්‍රද්ධාවෙන් මහණ වූ කුලපුත්‍රයන්ට සීලයට වඩා පිහිටක් නැත. පංච මහා ගංගාවන්ගේ ජලයෙන් පවා සත්වයන්ගේ කෙලෙස් නමැති මල සෝදා ශුද්ධ කළ නොහැක්කේ ය. එසේ ශුද්ධ කළ නොහැකි රාග ද්වේෂ මෝහාදී කෙලෙස් මල සීල නමැති ජලයෙන් පිරිසිදු කරන්නේ ය. දස දිසාවේම ඒකාකාරයෙන් පැතිරෙන යම් සුගන්ධයක් ඇත්ද ඒ සීල සුගන්ධය යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සීලය නම් දෙව්ලොවට යන ඉණිමගක් වැනි ය. නිවන්පුරයට පිවිසෙන දොරටුවක් වැනි ය. සූසැට ආභරණවලින් සැරසුණ රජවරුන්ට වඩා සීල නමැති ආභරණයෙන් සැරසුණා වූ ශ්‍රමණයන් වහන්සේ බබළන්නේය. සිල්වත් භික්ෂූන්ගේ ශරීර ගන්ධය පවා දෙවියන්ට ප්‍රිය උපදවන්නේය. සිල්වතුන් විෂයෙහි කරන ලද ස්වල්පමාත්‍ර වූ කුසලය වී නමුත් මහත් විපාක දෙන්නේ ය. එබැවින් සිල්වත් භික්ෂූන් වහන්සේලා ශ්‍රද්ධාවන්තයන් විසින් කරන ලද පූජා සත්කාර ලබන්නට සුදුසු වන සේක. සිල්වත් භික්ෂූන් කැමැති නම් දිව්‍ය මනුෂ්‍ය සම්පත්තිය පමණක් නොව අතිශාන්ත නිර්වාණ සම්පත්තිය ද ලබන්නේය.” මෙසේ සීලයෙහි අනුසස් වදාරා සතිපට්ඨාන සූත්‍රය දේශනා කොට අවවාද කළ සේක.
ඉක්බිති තිස්ස නාග මහතෙරුන් වහන්සේ අමරලෙන වසන තිස්ස මහරහතන් වහන්සේ වැඳ අවසර ගෙන තමන් වහන්සේ වසන විහාරයට නික්මුණ සේක. එකල්හි අතර මග වන මාර්ගයෙහි පැමිණෙද්දී ඉතා කර්කෂ වූ චණ්ඩ, පරුෂ, මිනී මරන මත් ඇතෙක් මාර්ගය අවුරා ඉදිරියට පැමිණ සිටගත්තේය.
එකෙණෙහි ම මහත් වූ වර්ෂාවක් ද ඇදහැළන්නට පටන් ගත්තේ ය. තෙරුන් වහන්සේ ඒ ඇතා කෙරෙහි මෙත් පතුරුවන්නට විය. මෛත්‍රිය නමැති ආයුධයෙන් පහර ලැබූ ඇතා මද සිඳී දමනයට පත් වී තෙරුන් වහන්සේ සමීපයට පැමිණ සිටගත්තේ ය. එකල්හී උන්වහන්සේ ඇත් රජුගේ කකුල් සතර අතර පලඟක් බැඳ වැඩ හුන් සේක. ඒ අවස්ථාවේ දී ම තිස්ස මහරහතන් වහන්සේ ලබා දුන් අවවාදය සිහි විය. මහා වැසි වසිමින් තිබිය දී තමන් වහන්සේගේ දෑස් පියාගත් තිස්සනාග තෙරුන් වහන්සේ තමන් පැවිදි උපසම්පදා වූ දා පටන් මේ දක්වා සීලයෙහි පිරිසිදු බව දැක හටගත් ප්‍රීතියෙන් යුතුව සතර සතිපට්ඨාන සුත්‍රය මෙනෙහි කොට විදර්ශනා වඩා මහපොළව ගුගුරුවමින් අරහත්වයට පත් වූ සේක. මහා අසිරියෙකි. ඇත් රජුගේ පා අතර වැඩ හිඳිමින් සියලු කෙලෙස් නසාලූ සේක. ඇත් රාජයා වනය දෙවනත් කරමින් කුංචනාද කළේ ය. වන දේවතාවෝ සාධුකාර දුන්හ. එකෙණෙහි ම ඇතු වට කොට හාත්පස අහසින් මල් වැසි ඇද හැළෙන්නට විය. යක්ෂ නාගාදීහු අවුත් අනේකප්‍රකාර සුවඳමල්, සුවඳ සුණු දීප ධූපාදීන්ගෙන් පුද පූජා පැවැත්වූහ. වන ළැහැබේ වසන සියලු දේවතාවෝ දිව්‍යමය පුෂ්පාදීන්ගෙන් උපමා විෂයාතික්‍රාන්ත වූ පූජා සිදු කළහ. ඉක්බිති තිස්සනාග රහතන් වහන්සේ ඇතුටත්, දෙවියන්ටත්, පැමිණි යක්ෂ නාග සමූහයාටත් ධර්මය දේශනා කළ සේක. ඒ අසා ඇත් රජා රහතන් වහන්සේ කෙරෙහි ප්‍රසන්නව උන්වහන්සේගේ වෙන් වීම ඉවසාගත නොහැකිව තිස්සනාග රහතන් වහන්සේ සමග ම ‘වියොලක’ නම් විහාරයට ගොස් තිස් අවුරුද්දක් මුළුල්ලෙහි උපස්ථාන කරමින් එහි ම විසී ය.
ඉක්බිති තෙරුන් වහන්සේ එම විහාරස්ථානයේ දී ම පිරිනිවන් පෑ සේක. මනුෂ්‍යයෝ උන්වහන්සේගේ ශ්‍රී ශරීරය මහත් වූ පුජා සත්කාරයෙන් කුළු ගෙයක තැන්පත් කොට කෙළෙඹිය විහාරයට ගෙනවුත් සත් දවසක් මුළුල්ලෙහි පූජා සත්කාර කළහ. ඇත් රජ ද ඒ මිනිසුන් සමඟ පූජා සත්කාර කොට ‘වියොලක’ නම් විහාරයට නැවත ඇවිත් භික්ෂූන් සමීපයෙහි මල් ආදිය පුදමින් වාසය කොට ආයු කෙළවර තව්තිසා දෙව්ලොව උපන්නේ ය.
එම ඇත් රජුගේ ඒ සද්දන්ත ශරීරය භික්ෂුවක් අරහත්වයට පත්වීමට සෙවණ දුන් කුටියක් බඳු විය. එම නිසා ඒ තිරිසන්ගත සත්වයා දෙව්ලොව ඉපිද දෙව් සැප විඳීම අරුමයක් නොවේ. මෙසේ ඇද හැළෙන මහා වර්ෂාවක් මධ්‍යයේ ඇතෙකුගේ පා සතරක් අතර හිඳ කෙලෙස් වැස්සෙන් කිසිදා නොතෙමෙන ජීවිතයක් ඇති කරගත්, වන දෙවියන් පවා සාධුකාර පැවැත්වූ, යක්ෂ හා නාගයින්ගේ පුද පූජාවන් ලැබූ, මෛත්‍රිය නමැති ආයුධයෙන් ඇතෙක් දමනය කොට සුගති රැකවරණය සලසාලූ ලක්වැසි ජනයාට පින්කෙතක් බඳු පිරිනිවන් පා වදාළ අපගේ සිංහල රහතන් වහන්සේනමක් වන තිස්සනාග රහතන් වහන්සේට නමස්කාර වේවා…!
#තිස්සනාග_රහතන්වහන්සේ #ලක්දිව_බුදුසසුන #රහතන්_වහන්සේලා
Comments
Post a Comment