මෙයින් මහා කල්ප අනූඑකකට පෙර ලොව පහළ වූ, තිලෝගුරු විපස්සි බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මේ පින්වත් උත්තමාවිය බන්ධුමතී නුවර එක්තරා කුලගෙයක උපත ලැබුවාය. සංසාරයේ බොහෝ පින්කම් කරමින් ආ ඕ තොමෝ, දිනක් බන්ධුමතී නගරයෙහි ශාන්ත ඉන්ද්‍රියයන්ගෙන් යුතුව, මහත් වූ බුද්ධ තේජසින් පිඬු පිණිස වඩිනා විපස්සි බුදුරජාණන් වහන්සේව දුටුවාය.
දක්නන්ගේ නෙතට මෙන්ම සිතටද අමා නිවනක් ගෙන දුන් බුදුරජාණන් වහන්සේ දුටු සැණින් ඇගේ මුළු සිරුරම ප්‍රීතියෙන්, සොම්නසින් කිලිපොලා ගියේය. ඇය වහා දිව ගොස් මහත් වූ ශ්‍රද්ධාවෙන් තමා සන්තකයේ තිබූ කැවුම්, දානයක් ලෙස බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය පුරවා පූජා කළාය. පූජා කොට අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත්ව, උතුම් වූ පසඟ පිහිටුවා අසීමිත ශ්‍රද්ධවෙන් බුදු සමිඳුන් අභියස වැඳ වැටුණාය.
එක් දිනක්, එකම එක වතාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන පූජා කළ ඒ උතුම් කැවුම් දානයේ විපාකය කෙතරම් ආශ්චර්යවත්ද යත්,
ඇය ඉන් පසු කිසිදු දිනක, එකදු ආත්මයක හෝ දුගතියකට (අපායකට) නොගියාය.
සුගතිගාමී දෙව්ලොව උපත ලබා, තව්තිසා දිව්‍ය ලෝකයේ දේවරාජයන් තිස්හය දෙනෙකුගේ (36) ප්‍රධාන අගමෙහෙසිය වීමේ වාසනාව ලැබුවාය.
මනුෂ්‍ය ලෝකයෙහි උපත ලැබූ සැම වාරයකදීම, මහා සාගරය පරදන ධන සම්පත් ඇති සක්විති රජවරුන් පනස් දෙනෙකුගේ (50) අගමෙහෙසිය වූවාය.
ඇය සිතින් යම් තාක් සැපයක්, වස්තුවක් පැතුවාද, ඒ සියල්ල මහ පොළොව පළාගෙන මෙන් ඇය ඉදිරියේ පහළ විය.
මෙලෙස කල්ප අනූඑකක් පුරා දෙව්මිනිස් සැප කෙළවර කොට, අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ඇය විශාලා මහනුවර අතිශය ධනවත් බ්‍රාහ්මණ කුලයක උපත ලැබුවාය. ඇයට දෙම් තැබූ නම "රෝහිණී" නම් විය.
භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩසිටි සමයක, රූමත් කුලවත් රෝහිණි කුමරිය දිනක් බණ ඇසීම පිණිස විහාරයට ගියාය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ගලා ආ ඒ අමා ධර්ම ශ්‍රවණය කරනවාත් සමඟම, සංසාරික ප්‍රඥාව අවදි වූ ඇය, සියලු සක්කාය දිට්ඨි ආදී සයෝජන සිඳ දමා සෝවාන් ඵලයට පත්වූවාය.
සෝවාන් වූ සැණින් ඇයට ගිහිගෙය කෙරෙහි තිබූ ඇල්ම නැති වී ගියේය. ඇය මවුපියන් වෙත ගොස්, සසුනේ පැවිදි වීමට අවසර ඉල්ලා සිටියාය. මවුපියන්ගේ ආශීර්වාදය ඇතිව භික්ෂුණී ශාසනයේ පැවිදි වූ ඇය, නොබෝ කලකින්ම වීර්යය වඩා, සියලු කෙලෙසුන් නසා සිවුපිළිසිඹියාවන් සහිත මහා අර්හත් මෙහෙණින් වහන්සේ නමක බවට පත්වූවාය.
ඇය සෝවාන් ඵලයට පැමිණි අලුත, ගිහිගෙයි වෙසෙන කාලයේදී ඇගේ බ්‍රාහ්මණ පියා සහ ඇය අතර ඇති වූ සංවාදය පසුව ඇය රහත් වී තමාගේ අතීත පිළිවෙත සිහිපත් කරමින් උදාන වශයෙන් ප්‍රකාශ කළාය.
රෝහිණිය ගිහිගෙයි සිටියදීත් නිතරම මහණුන්ගේ ගුණ කියමින්, "ශ්‍රමණ... ශ්‍රමණ..." යන වචනයම මතුරන්නියක වූවාය. මෙය දුටු බමුණු පියා මෙසේ ඇසීය:
"පින්වත් දියණිය, ඔබ නිදන්නට යන විටත්, නින්දෙන් අවදි වන විටත් නිතරම කියවන්නේ 'ශ්‍රමණ' (මහණ) කියාමය. ඔබ ඒකාන්තයෙන්ම මතු දිනක මෙහෙණක් වීමට පෙරුම් පුරන්නියකි. ඔබ නිතරම බොහෝ ආහාරපාන භික්ෂූන් උදෙසාම පූජා කරයි. රෝහිණී, මට කියන්න, ඔබ මේ මහණුන්ට මෙතරම් ආදරය කරන්නේ, ප්‍රිය කරන්නේ ඇයි?
මට පෙනෙන විදිහට නම් ඔවුන් කිසිදු ගොවිතැනක්, වෙළඳාමක් නොකරන කම්මැලි පිරිසකි. අනුන් දෙන දෙයින් ජීවත් වෙති. රසවත් දේ විඳින්නට කැමතියහ. එවැනි පිරිසකට ඔබ මෙතරම් ලෙංගතු ඇයි?"
පියාගේ අඥාන ප්‍රශ්නය හමුවේ කෝප නොවූ රෝහිණිය, මහත් වූ කරුණාවෙන් යුතුව සැබෑ ශ්‍රමණයන් වහන්සේලාගේ (මහණුන්ගේ) උත්තරීතර ගුණාංග එකින් එක තම පියාට පැහැදිලි කර දුන්නාය. ඇය පැවසූ ඒ උතුම් ගුණාංග ඇසීමෙන් අපගේ සිත තුළද මහා සංඝරත්නය කෙරෙහි අකම්පිත ශ්‍රද්ධාවක් ඇති වේ.
"පියාණෙනි, ඔබ බොහෝ කලකට පසු මගෙන් ඉතා වටිනා ප්‍රශ්නයක් ඇසුවා. ඒ මහණුන් වහන්සේලා අලස නැත. ඔවුහු සසර දුක නැති කිරීමේ ශ්‍රේෂ්ඨතම ක්‍රියාවෙහි නිරත වී සිටිති. උන්වහන්සේලා සිතෙහි පවතින කාමරාගය සහ ද්වේෂය සහමුලින්ම දුරු කළ උත්තමයෝය."
"ඔවුහු පවිත්‍ර වූ ක්‍රියාවන්ම කරති. ලෝභ, දෝස, මෝහ යන ත්‍රිවිධ අකුසල් මුල් නසා දමා, සියලු පාපයන් ප්‍රහීණ කළ පිරිසකි."
"උන්වහන්සේලාගේ ශරීරයෙන් කෙරෙන ක්‍රියා (කායකර්ම) පිරිසිදුය. වචනය (වචීකර්ම) පිරිසිදුය. සිතින් සිතන දේ (මනෝකර්ම) පිරිසිදුය."
"සක් මුතුවක් මෙන් උන්වහන්සේලා පිරිසිදුය. ඇතුළතින් සිතද, පිටතින් හැසිරීමද නිකැළැල්ය. හැමවිටම පින් දහම්වලින් පිරී ඉතිරී ගිය ගුණැත්තෝය."
"ඔවුහු බොහෝ ධර්මය ඇසූ බහුශ්‍රැතයෝය. උතුම් ආර්යයෝය. ධර්මයට අනුවම ජීවත් වෙති. එකඟ වූ සිතක් (සමාධියක්) සහ මනා සිහියක් (සතියක්) ඇත්තෝය."
"ඔවුහු සන්සුන්ව, සිහි නුවණින් යුතුව අර්ථවත් වචන කථා කරති. කිසිවිටෙකත් මානයෙන් උඩඟු නොවෙති. මේ සංසාර දුකේ කෙළවර (නිවන) මැනවින් හඳුනන්නෝය."
"උන්වහන්සේලා යම් ගමකට පිඬු පිණිස වැඩම කර, නැවත ඉන් පිටව යන විට, ඒ ගමේ කිසිදු දෙයක් කෙරෙහි තණ්හාවෙන් හැරී නොබලති. කිසිදු අපේක්ෂාවකින් තොරවම වඩිති."
"ඔවුහු ගිහියන් මෙන් කොටුගුල්වල (ගබඩාවල) ධනය තැන්පත් නොකරති. සැළි වළංවල බඩු අසුරා නොතබති. ඔවුන්ගේ ලෞකික වස්තු සෙවීම අවසානය."
"ඔවුහු රන් රිදී මිල මුදල් ස්පර්ශ නොකරති, බාර නොගනිති. ඒ ඒ වේලාවට ලත් සිව්පසයෙන් පමණක් සතුටු වෙති."
"නොයෙකුත් කුලවලින්, නොයෙකුත් ජනපදවලින් පැමිණ සසුනේ පැවිදි වුවද, උන්වහන්සේලා තරාතිරම නොබලා, එකම පියෙකුගේ (බුදු පියාණන්ගේ) දරුවන් මෙන් එකිනෙකාට අතිශයින් ප්‍රිය කරති, ගරු කරති."
දියණියගේ මුවින් ගලා ආ මේ උතුම්, සත්‍ය වූ මහා සංඝ ගුණ ඇසූ බ්‍රාහ්මණ පියාගේ මිථ්‍යා දෘෂ්ටිය සැනෙකින් දිය වී ගියේය. ඔහුගේ සිත තුළ තෙරුවන් කෙරෙහි මහා ශ්‍රද්ධාවක්, පැහැදීමක් ඇති විය. ස්නේහයෙන් සහ ධර්ම ප්‍රමෝදයෙන් පිරී ගිය බමුණා තම දියණියට මෙසේ පැවසීය:
"මාගේ පින්වත් දියණිය රෝහිණී, ඔබ අපේ කුලයේ උපන්නේ අපව මුදවාලන්නටමය, මහා වැඩක් පිණිසමය! ඔබ බුදුන්, දහම්, සඟුන් කෙරෙහි දැඩි වූ, අචල වූ ගෞරවයක් ඇත්තියකි.
ලොව උතුම්ම පින්කෙත වන මහා සංඝරත්නය ගැන ඔබ මැනවින් දන්නෙහිය. මින්මතු ඒ භික්ෂූන් වහන්සේලා මා දෙන දානයද පිළිගන්නා සේක්වා! අප මේ සිදු කරන පූජාවන් අපට සංසාරයේ බොහෝ සැප විපාක ගෙන දෙනු ඇත. ඉදින් සසර දුකට බිය නම්, දුක නැති කරගන්නට කැමති නම්, මා කුමක් කළ යුතුද දියණියනි?"
"පියාණෙනි, එසේ නම් ඔබද උතුම් වූ බුදුන්, දහම්, සඟුන් යන ත්‍රිවිධ රත්නය සරණ යන්න. පංචශීලය සමාදන් වෙන්න. එය ඔබේ මෙලොව පරලොව අභිවෘද්ධිය පිණිසම පවතිනු ඇත."
පියාණන් ද මහත් සේ සතුටු වී මෙසේ උදාන වැකී කීවේය,
"මමද අද පටන් උතුම් බුදුන්, දහම්, සඟුන් සරණ යමි. පංචශීලය සමාදන් වෙමි. එය මාගේ සදාකාලික හිතසුව පිණිස පවතිනු ඇත.
මම මීට පෙර මහා බ්‍රහ්මයාගේ නෑයෙක් (ලොකුම බ්‍රාහ්මණයා) කියා සිතාගෙන ව්‍යාජ බ්‍රාහ්මණයෙක් වී සිටියෙමි. නමුත් සැබෑ ශ්‍රමණ ගුණ අසා තෙරුවන් සරණ ගිය මම, දැන් සැබෑ ත්‍රිවිද්‍යාව දත්, නියම වේදය දත්, කෙලෙස් සේදීමේ නෑමෙන් පිරිසිදු වූ සැබෑ බ්‍රාහ්මණයෙක් වෙමි!"
මෙසේ ඒ බමුණා සරණ සිල්හි පිහිටා පසු කලෙක හටගත් සංවේගය ඇත්තේ පැවිදිව විදසුන් වඩා රහත්බව ලබා ගත්තේය.
රෝහිණි තෙරණින් වහන්සේ ද ලොවට හිතසුව පිණිස බොහෝ කාලයක් වැඩ සිට ජනයාට අනුකම්පාවෙන් සාස්තෘන් වහන්සේගේ ශ්‍රී මුව මඩලින් දේශිත සද්ධර්මය බෙදා දුන්නීය. ඇතිවූ සියල්ලම නැසෙන ඵල දහමට අනුගතව සුපින්වත් රෝහිණි රහත් තෙරණින් වහන්සේ ද එක්තරා දිනක පරිනිර්වාණයට පත් විය. සසුන් කෙතට පින් බිමක් බඳු වූ උතුම් රෝහිණි රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
#උත්තම_තෙරණි_වන්දනා #බුද්ධ_කාලයේ_භික්ෂුණින් #රහතන්_වහන්සේලා #බුදු_සසුන #buddhistnuns #rohinitheri #රෝහිණි_තෙරණිය #තෙරණින්_වහන්සේලා #trendingpost
Comments
Post a Comment