Skip to main content

දෙව් මිනිස්සුන්ට මෙන්ම තිරිසන් සතුන්ටත් කාරුණික වූ චුල්ල පිණ්ඩපාතික තිස්ස රහතන් වහන්සේ

ලක්දිව වැඩසිටි රහතන් වහන්සේලා - 04


දඹදිව බුදුරජුන් වැඩ සිටි කාලයේ කසාවතින් බැබළුණේ යම් සේ ද ලංකාදීපය ද එසෙයින් ම කසාය වස්ත්‍රයෙන් බැබළුණේ ය. නොයෙක් සිය දහස් ගණන් මඟ ඵලලාභී උවසු උවැසියන් ද නිකෙලෙස් මුනිවර මුනිවරියන්ගෙන් ද අඩුවක් නො වී ය. එකල ලංකාවේ සිටි පින්වන්තයෝ ගෙවල් දොරවල් හරකා බාන අතහැර බුදු සසුනේ මහණ වී සසරින් එතෙර වූ සේක. උන්වහන්සේලා තුළ තුබූ ඒ අනන්ත, අප්‍රමාණ, ශ්‍රේෂ්ඨ ගුණ කඳ අද අපට සිතින් සිතා ගන්නවත් බැරි තරම් ය. ඒ රහතන් වහන්සේලා තුළ තිබූ නොඇලීම, අල්පේච්ඡ බව, ලද දෙයින් සතුටු වීම, දයාව, අනුකම්පාව, කරුණාව සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය එකකි.

අටලෝ දහමින් කම්පා නොවන පිවිතුරු හදමඬලක් දරා වැඩ සිටි ඒ උත්තම මුනිවරු ගැන හිත පහදවා ගන්නට ලැබුණොත් බොහෝ කලක් හිත සුව පිණිස, සැපය පිණිස පවතිනු ඇත. ඉතින් අද අපි හිත පහදවා ගන්නේ ලංකාවේ වැඩ විසූ උත්තම අරහත් මුනිවරයෙක් ගැනයි. ඒ චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ යි.

උන්වහන්සේ විහාර මහා දේවියගේ සොහොයුරෙකි. කාවන්තිස්ස රජතුමා අප මුනිරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ලළාට ධාතූන් වහන්සේ නිධන් කොට, සේරුවිල මංගල මහා චෛත්‍යරාජයාණන් වහන්සේ ගොඩනැංවීමේ දී ඒ කටයුතුවලට අනුශාසනා කළේ චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ යි.

උන්වහන්සේ අරහත්වයට පත් වූ ආකාරය හරිම අපූරු සිදුවීමකි. මේ ලක්දිව රුහුණු ජනපදයෙහි එක්තරා ගමක නකුල නම් උපාසකයෙක් වාසය කළේ ය. හේ බොහෝ දුප්පත් ව තමාගේ අඹු දරුවන් රක්ෂා කළේ ය. ඔහුගේ දියණියක් කහවණු දොළසකට ණයගැති ව මාගම එක් කුලගෙයක වැඩ කරයි. නකුල උපාසක තමන්ගේ දුව බේරා ගැනීමට බොහොම මහන්සියෙන් බැලමෙහෙ කොට කහවණු දොළසක් සොයාගෙන මාගමට යන අතරමග චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ දැක සිතණුයේ, ‘තවම පෙරවරු කාලය ඉක්ම ගොස් නැත. සමීපයෙහි ගමකුත් නැත.

තෙරුන් වහන්සේට දානය නොලැබුණොත් ඒක හොඳ දෙයක් නෙවෙයි. කුමක් කරම්දැ’යි සිතන විට එකෙණෙහි ම එක් මිනිසෙක් බත් මුලක් අරගෙන එතැනින් ගියේ ය. උපාසකයා ඔහු දැක සතුටුව, “මිත්‍රය, ඔය බත් මුල මට දෙන්න මේ කහවණුව රැගෙන” යයි කී ය. ඔහු එය නොදෙන බව පැවසීය. නැවතත් එය කහවණු දෙකකට ඉල්ලීය. ඔහු නොදුන්නේ ය. ඔහු එසේත් නොදෙන හෙයින් ක්‍රමයෙන් මිල වැඩි කොට කහවණු දොළස ම ගෙවා බත් මුල මිල දී ගත්තේ ය. බත් මුල රැගෙන තෙරුන් වහන්සේ සමීපයට පැමිණි කල්හි පසඟ පිහිටුවා වැඳ පාත්‍රය ගෙන බත් බහා තෙරුන් වහන්සේට පිළිගැන්වූහ. තෙරුන් වහන්සේ පාත්‍රය පිළිගත් කල්හි ඒ ආහාරය මිල දී ගත් ආකාරය අසා තෙරුන් වහන්සේ සිතණුයේ, ‘මේ උපාසකයා මහත් ශ්‍රද්ධාවෙන් දුන්නා වූ දානය කෙලෙස් සහිතව වළඳා ප්‍රත්‍යය උපකාරයක් කළ නොහැකියි’. මෙසේ සිතා එක් ගසක් මුලට ගොස් පාත්‍රය එක් පසෙක තබාගෙන තමන් වහන්සේට ම අවවාද කරන සේක.

‘මේ උපාසකයා මගේ දෙමාපියන් ද නො වේ, සහෝදර සහෝදරියක් ද නො වේ, ලේ ඥාතියෙක් ද නො වේ, අඩුම තරමින් කලින් දැකපු මිතුරෙක් ද නො වේ. ඒ වුණත් මම සිල්වත්, ගුණවත් යැයි සිතා මෙසේ මහත් උත්සාහයෙන් දානය දුන්නේ ය. ඔහු හට වැඩි ආනිශංසයක් ලබා දීමට නම් කෙලෙස් රහිතව මේ දානය වැළඳිය යුතුයි. මාගේ ජීවිතය ගියත් මේ දානය රාග, ද්වේෂ, මෝහ සහිතව නොවළඳන්නෙමි’ යි අධිෂ්ඨාන කොට විදසුන් වඩා රහත් බවට පැමිණ එම දානය වැළඳූ සේක. ඉන් පසු උන්වහන්සේ විහාරයට වැඩම කොට සිදු වූ සියල්ල අනික් භික්ෂූන් වහන්සේලාට විස්තර වශයෙන් වදාරා, “යම් දවසක මම් පිරිනිවන් පාන්නේ ද එකල්හි මා සැතපුණා වූ කුළුගෙය සෙසු අය විසින් ඔසවන කල්හි නො එසවේවා! යම් දවසක ඒ දානය දුන් උපාසකයා ඇවිත් ඔසවන කල්හි එසවේවා!” යි කියා අධිෂ්ඨාන කළහ. නකුල උපාසකතුමා තම දියණිය බැහැ දැක සිදු වූ සියල්ල විස්තර කොට කීය. එම දියණිය ද ඉතා සතුටුව ඒ පින අනුමෝදන් විය.

එක් උපාසිකාවක් ඒ තෙරුන් වහන්සේට දොළොස් අවුරුද්දක් පිණ්ඩපාතයෙන් උපස්ථාන කළා ය. එක් දිනක් ඒ ගමෙහි ගින්නක් හටගෙන සියලු ගෙවල් දැවී ගියහ. අන් අයගේ හිතවත් භික්ෂූන් වැඩම කොට “කිමෙක්ද උපාසිකාවෙනි, යම් කිසි බඩුවක් බේරා ගත හැකි වී ද?” යනාදිය කතාබස් කළහ. චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් එසේ විචාරීමට නොපැමිණි සේක. පසුදා පිඬු පිණිස හැසිරෙන වේලාවට එහි වැඩම කළ පසු ඒ උපාසිකාව දැවී ඉතිරි වී ගිය බිත්තියක් අද්දර උන්වහන්සේ හිඳුවා දානය පිළියෙළ කොට පූජා කළා ය. තෙරුන් වහන්සේ දන් වළඳා කිසිවක් නොකියා ගිය විට අසල්වැසි මිනිස්සු “අපේ උපාසක අම්මාගේ තෙරුන් වහන්සේ දන් වළඳන වේලාවට ම ආයේ ය” යැයි කීහ. එවිට උපාසිකාව “තොපගේ භික්ෂූන් තොපට යහපත් වෙති. මාගේ තෙරුන් වහන්සේ මට හොඳ ය” යැයි කීවා ය. උන්වහන්සේගේ නොඇලුණු ගුණයත්, උපාසිකාවගේ නොබැඳීමත් කොතරම් නම් සුන්දර ද?

‘මධු අංගන’ නම් ගමෙහි එක්තරා දෙමළ දොරටු පාලකයෙක් වාසය කළේ ය. ඔහු උදෑසනින් ම බිලී පිත්තක් රැගෙන ගොස් මාළු බායි. ඒවා තුන් කොටසකට බෙදා එක් කොටසකින් සහල් ද තව කොටසකින් දී කිරි ද ගෙන ඉතිරි කොටස අහර පිණිස ගනී. මෙසේ පනස් වසරක් ඉක්ම ගියේ ය. ඔහු වියපත් ව නොනැගිටින ස්වභාවයට පත් විය. ඒ කාලයෙහි චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් ගිරි විහාරයේ වාසය කරන්නේ ය. ‘මේ මිනිසා මා බලා සිටිය දී ම විනාශයට පත් නොවේවා!’ යි සිතා ඔහුගේ ගෙදරට වැඩියහ. ඔහුගේ බිරිඳ තෙරුන් වැඩම කළ බව සැමියාට දැන්වුව කල්හි “මම කවදාවත් උන්වහන්සේ මුණගැසී නැත. දැන් මා මුණගැසීමට පැමිණියේ කවර ගුණයක් නිසා ද? උන්වහන්සේට යන්නැයි කියන්න” යැයි පැවසී ය. එය තෙරුන් වහන්සේට පැවසූ පසු උන්වහන්සේ ඔහුගේ කාය බලය ගැන විමසූහ. “ස්වාමිනී, දුර්වල ය” යි ඕ පැවසුවා ය. තෙරණුවෝ ගේ තුළට පිවිස “සිහි උපදවා සිල් ගන්නැ”යි කීහ. “එසේ ය ස්වාමීනී, සිල් දෙනු මැනවැ”යි කීය.

තෙරුන් වහන්සේ තිසරණය සමාදන් කරවා පන්සිල් දීමට සැරසුණා පමණි. ඔහුගේ දිව පණ නැති විය. තෙරණුවෝ එයත් සෑහේ යැයි පිටත්ව ගියහ. එම දොරටු පාලකයා කළුරිය කොට චාතුම්මහාරාජිකයෙහි උපන්නේ ය. උපන් ඇසිල්ලේ ම කුමන පිනක් කොට දෙව් සැප ලැබුණිදැයි බලන්නේ තෙරුන් වහන්සේ නිසා බව දැන දෙව්ලොවින් අවුත් තෙරුන් වැඳ සක්මන කෙළවර සිටියේ ය. කවරෙක්දැයි ඇසූ කල, “ස්වාමිනී, මම දෙමළ දොරටුපල්ලා වෙමි”යි කීය. “කොහිද උපන්නේ?” “ස්වාමීනී, චාතුම්මහාරාජිකයෙහි ය. ආර්යන් වහන්සේ මට පන්සිල් ද දුන්නේ නම් ඉහළ දෙව්ලොවක උපදින්නෙමි.” “මා කුමක් කරන්න ද? දරුව, නුඹට ගැනීමට නොහැකි විය” යයි උන්වහන්සේ කීහ. එම දෙවියා තෙරුන් වැඳ දෙව්ලොවට ගියේ ය. උන්වහන්සේ තුළ තිබුණ කරුණාව, අනුකම්පාව කොතරම් නම් පුදුම සහගත ද? නිරයේ ගොස් අප්‍රමාණ දුක් පීඩාවකට පත් වන්නට සිටි මිනිසා අපමණ සැපයක් චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් නිසා ලබා ගත්තේ ය.

එකල චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරනම පන්සීයක් භික්ෂූන් සමඟ රුහුණු ජනපදයේ එක්තරා මාර්ගයක වඩින්නේ ය. ඒ මාර්ගයේ මඩ වගුරක එක්තරා විශාල ගොනෙක් වැටී පණ අදිමින් සිටිනු දැක්කේ ය. ඒ ගොනා එතැන වැටී ජීවත් ව සිටිය දී ම හම ගලවාගෙන ගොස් තිබිණි. බල්ලන් ගොනා ව වට කරගෙන සිටියහ. කුරා කුහුඹුවෝ ද උගේ ඇඟට නැගී කමින් සිටියහ.

උන්වහන්සේ ඒ ගොනා දැක කරුණා උපදවා පාත්‍රවලින් ජලය ගෙනවිත් පෙවී ය. ඌ ඒ පැන් බී ස්වල්ප ආස්වාදයක් ලැබී ය. තෙරුන් වහන්සේ ඒ ගොනා ඉදිරියෙන් වාඩි වී මහා සතිපට්ඨාන සූත්‍රය දෙසා තිසරණය දුනි. සිල්පද කියන විට ගොනා කළුරිය කළේ ය. තෙරුන් වහන්සේ කෙරෙහි ගොනාගේ සිත පැහැදී තිබිණි. ඒ නිසා තව්තිසා දෙව්ලොව තිස් යොදුන් විමනක උපන්නේ ය. හෙතෙම පෙර ජාතිය බලා තෙරුන්ට කෘතඥතාවය පෙන්වීම පිණිස මධ්‍යම රාත්‍රියේ දී දෙවඟනන් දහසක් පිරිවරාගෙන විමානය සමඟ අවුත් තෙරුන්ගේ පා වැඳ එක් පසෙක සිටියේ ය. තෙරුන් වහන්සේ “ඔබ කවරෙක් දැ?” යි ඇසී ය. ඒ දේව පුත්‍රයා තමන්ගේ පෙර ජාතිය විස්තර කොට කීය.

“ස්වාමීනී, මම පෙර තිරිසන් අපායේ ඉපදුණු මහාදත්ත නමැති ගොනෙක් වීමි. එක් දවසක් සහලින් පිරවූ කරත්තයක් දක්කමින් එද්දී ගැඹුරු මඩ වළක එරුණි. මම උත්සාහය යොදා සය වරක් කරත්තය ඇද්දත් ගොඩට ගන්නට බැරි වුණි. සත්වෙනි වාරයේ දී වේගයෙන් අදිද්දී මගේ පපුව පැළී ගියේ ය. ලේ වමාරා එතැන ම වැටුණි. ඒ අසත්පුරුෂ ගැල්කරුවා මා එතැන ම හැර දමා අන් ගොනෙකු යොදාගෙන යන්නට ගියේ ය. පින්වත් ස්වාමීන් වහන්සේ මෙවැනි විපතට පත් මා දැක අනුකම්පාවෙන් සතිපට්ඨාන සූත්‍රය දෙසා සරණ සිල් දුන්හ. සිල් දෙන විට මම මරණයට පත් වීමි. සිල් දෙන තුරු සිටියා නම් මට ‘යාම’ දෙව්ලොව උපදින්නට ඉඩ තිබුණි. දෙව්ලොවට ගියත් මාගේ පූර්ව නාමය විනාශ නො වී ය. දෙව් රජ සහිත දෙවියෝ මා ‘මහාදත්ත’ යයි හඳුනා ගනිත්. ගොනෙක් ව සිටි මම ඉතා දරුණු දුකකට පත් වීමි. ඔබ වහන්සේ මට සූත්‍රයක් දෙසා තිසරණය දුන්හ.

ධර්මය කනට වැටුණු පමණින් මෙවැනි ඵලයක් ලදිමි. මෙවැනි සම්පතකට පැමිණියෙමි. යම් ස්ත්‍රී පුරුෂ කෙනෙක් බුදු සසුන ඇසුරු කරත් නම් ඔවුන්ට ලැබෙන සැපය විස්තර කළ නොහැක. දැන් මට සරණ සිල් දී ඒ සූත්‍රය ම දෙසනු මැනවි. ඒ දහම් නැවට නංවා මා සසර සයුරෙන් එතෙර කරනු මැනවැ” යි ආයාචනා කළේ ය. තෙරනම සරණ සිල් දී ඒ සූත්‍රය දේශනා කරන විට සංසාරයෙහි නොඇලුණු මහාදත්ත නම් දේව පුත්‍රයා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. එම දේව පුත්‍රයා බුද්ධ පුත්‍රයන් සමීපයෙහි දහම් ඇස ලබා පා ළඟ හිස තබා වැන්දේ ය. දහසක් දෙවඟනන් හා සෝවාන් ඵලයෙහි පිහිටි හෙතෙම දෙව්ලොවට ගියේ ය.

මෙසේ උන්වහන්සේ බොහෝ ලක්දිව මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට ද යහපත උදා කළ සේක. මේ අනිත්‍ය ධර්මයේ ස්වභාවයෙන් මේ ලෝකයේ කිසිවෙකුටත් බේරෙන්නට නොහැකි ය. උන්වහන්සේගේ ද ආයුෂ අවසන් වී ඇති බව වැටහිණි. පිරිනිවන් පාන්නට මොහොතකට මත්තෙන් කලින් අධිෂ්ඨානය සිහි කොට පහනක් නිවෙනා ලෙස පිරිනිවනට පත් වුණි. එකල්හි මහජනයා එක්රැස්ව උන්වහන්සේ ආදාහනය කරම්හ යි එම කුළු ගෙය සරසා මහත් පූජා සත්කාර කොට ඔසවන්නට උත්සාහ කළහ. මිනිසුන් සියයක් දෙනා රැස්ව ද ඔසවන්නට නොහැකි විය. එය කාවන්තිස්ස රජතුමාට දන්වනු ලැබිණ. රජතුමා ද මහ සෙනඟ පිරිවරා අවුත් ඔසවන්නට බැරි වූ තැන භික්ෂූන් වහන්සේලාගෙන් කාරණාව විමසූහ. චුල්ල පිණ්ඩපාතික තිස්ස රහතන් වහන්සේ පිරිනිවෙන්නට කලින් වදාළ පරිද්දෙන් උන්වහන්සේලා රජ්ජුරුවන්ට කී සේක. එපවත් අසා රජතුමා, “රහත් වීමට යම් දානයක් මුල් වූවා ද ඒ දානය දුන් නකුල උපාසක කැඳවා මේ කුළු ගෙය අල්ලවන්න” යි කීය.

ඒ උපාසකයා අතින් ඇල්වූ සැණින් ම කුළුගෙය අහසින් ම ගොස් දර සෑය මත්තෙහි තැන්පත් විය. එකෙණෙහි ම සිව් කොණින් ගිනිදැල් මතු වී ආදාහනය සිදු විය. මේ ආශ්චර්යය දුටු රජතුමා ඒ නකුල උපාසකයාට බොහෝ සම්පත් දී ඔහු වසන ගම ද බත් ගම් කොට දුන්හ. ඒ උපාසකයා ද එතැන් පටන් බොහෝ පින් දහම් කොට දෙව්ලොව ගියේ ය.

මෙසේ දෙව් මිනිස් ලෝකයා හට පින් රැස්කර ගැනීම පිණිස හේතු වූ, අනුත්තර පින් කෙතක් වූ, මේ ලක්දිව වැඩ විසූ නිකෙලෙස් ගුණයෙන් ශෝභමාන වූ අපගේ චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේට නමස්කාර වේවා!

#උත්තම_තෙරණි_වන්දනා #රහතන්_වහන්සේලා #ලක්දිව_බුදුසසුන #ලක්දිව_රහතන්_වහන්සේලා #බුදු_සසුන #buddhistmonks #bhikkhu #trendingnow   #trendingpost

Comments

Popular posts from this blog

පහන් පූජාවෙන් නිවන් මග විවර කරගත් පඤ්චදීපා රහත් තෙරණිය

​මීට කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි, ඇය හංසවතී නගරයෙහි කුසල් දහම් සොයා ඇවිදිනා සැදැහැති උපාසිකාවක වූවාය. ​දිනක්, දැඩි අන්ධකාරයෙන් පිරි අමාවක පොහෝ දිනෙක ඇය උතුම් බෝධීන් වහන්සේ අභියසට පැමිණියාය. නිසල රාත්‍රියේ, කළුවර මැද වැඩසිටි ඒ මහා බෝ රුක දුටු ඇයට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසදෘශ වූ, ප්‍රබල ශ්‍රද්ධාවක් උපන්නාය. ඇය ඒ බෝධි මූලයෙහි  එකත් පස්ව අසුන් ගත්තාය. ​ඇය දොහොත් මුදුන් දී වැඳ, අතිශය සොම්නස් සහගත සිතින් යුතුව මෙසේ සත්‍ය ක්‍රියාවක් කළාය, ​"ඉදින් මාගේ බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ගුණ ඇති සේක් නම්, ලොව අසමසම වූ සාස්තෘන් වහන්සේ  වන සේක් නම්, මා කෙරෙහි අනුකම්පාවෙන් මට පෙළහරක් දක්වන සේක්වා! මේ මහා බෝ වෘක්ෂය ආලෝකයෙන් බබළවන සේක්වා!" ​ඇයගේ ඒ නොසැලෙන ශ්‍රද්ධාවේ බලයෙන් සහ චිත්තවේගයේ පවිත්‍රත්වය නිසා, සිතූ සැණින්ම මුළු බෝධි වෘක්ෂයම දිව්‍යමය ආලෝකයකින් ඒකාලෝක විය. සතර දිශාවම බැබළෙමින්, මුළු බෝ රුකම රනින් නිම කළාක් මෙන් දිලිසෙන්නට විය. ​මෙම පෙර නොදුටූ විරූ ප්‍රාතිහාර්යයෙන් මහත් ප්‍රීතියට පත් ඇය, සත් අහොරෑයක් (දින හතක්) පුරා ඒ බෝධි මූලයෙහිම ධ්‍යාන...

විපස්සී බුදු රදුන්ට කැවුම් පුදා කල්ප අනූ එකක්ම සුගතිගාමී වූ රෝහිණි රහත් තෙරණිය

මෙයින් මහා කල්ප අනූඑකකට පෙර ලොව පහළ වූ, තිලෝගුරු විපස්සි බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මේ පින්වත් උත්තමාවිය බන්ධුමතී නුවර එක්තරා කුලගෙයක උපත ලැබුවාය. සංසාරයේ බොහෝ පින්කම් කරමින් ආ ඕ තොමෝ, දිනක් බන්ධුමතී නගරයෙහි ශාන්ත ඉන්ද්‍රියයන්ගෙන් යුතුව, මහත් වූ බුද්ධ තේජසින් පිඬු පිණිස වඩිනා විපස්සි බුදුරජාණන් වහන්සේව දුටුවාය. ​දක්නන්ගේ නෙතට මෙන්ම සිතටද අමා නිවනක් ගෙන දුන් බුදුරජාණන් වහන්සේ දුටු සැණින් ඇගේ මුළු සිරුරම ප්‍රීතියෙන්, සොම්නසින් කිලිපොලා ගියේය. ඇය වහා දිව ගොස් මහත් වූ ශ්‍රද්ධාවෙන් තමා සන්තකයේ තිබූ කැවුම්, දානයක් ලෙස බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය පුරවා පූජා කළාය. පූජා කොට අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත්ව, උතුම් වූ පසඟ පිහිටුවා අසීමිත ශ්‍රද්ධවෙන්  බුදු සමිඳුන් අභියස වැඳ වැටුණාය. ​එක් දිනක්, එකම එක වතාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන පූජා කළ ඒ උතුම් කැවුම් දානයේ විපාකය කෙතරම් ආශ්චර්යවත්ද යත්, ​ඇය ඉන් පසු කිසිදු දිනක, එකදු ආත්මයක හෝ දුගතියකට (අපායකට) නොගියාය. ​සුගතිගාමී දෙව්ලොව උපත ලබා, තව්තිසා දිව්‍ය ලෝකයේ දේවරාජයන් තිස්හය දෙනෙකුගේ (36) ප්‍රධාන අගමෙහෙසිය වීමේ වාසනාව ලැබුවාය...

ඇතෙකුගේ පා අතර හිඳ රහත් වූ තිස්සනාග රහතන් වහන්සේ

ලක්දිව වැඩසිටි රහතන් වහන්සේලා - 7 ලංකාද්වීපයේ රුහුණු ජනපදයෙහි ‘කෙළෙඹිය’ නම් විහාරයක් පිහිටා තිබුණේය. ඒ විහාරයෙහි මහත් වු ශ්‍රද්ධා ඇති තිස්සනාග නම් මහා තෙරුන් වහන්සේනමක් ප්‍රධානව වසන සේක. උන්වහන්සේ එක් දිනක් අමර ලෙන වසන සිව්පිළිසිඹියා පත් තිස්ස මහරහතන් වහන්සේ සමීපයට ගොස් පත්කඩය එළා වැඳ එකත්පස්ව වාඩිවුණ සේක. නේවාසික තෙරුන් වහන්සේලා ද පැමිණ මිහිරි වූ පිළිසඳර බස් කථා කොට එක් පැත්තකින් වාඩි වී උන් සේක. එවිට තිස්ස මහරහතන් වහන්සේ අවවාද වශයෙන් කියනුයේ, “ඇවැත්නි, සැදැහැයෙන් මහණ වූ ඔබවහන්සේලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව ආචාර ගෝචර සම්පන්නව වාසය කළ යුතුයි. ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුතුව සිහිනුවණින් වාසය කළ යුතුයි. ආජීව පාරිශුද්ධ සීලය ආරක්ෂා කරගත යුතුයි. මිථ්‍යා ආජීවයෙන් දුරුව කෙලෙස් තවන වීර්යය නමැති සම්පත්තියෙන් වාසය කළ යුත්තේය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදී සිව්පසය නුවණින් යුතුව පරිභෝග කරමින් ප්‍රත්‍යය සංනිශ්‍රිත සීලයෙන් වාසය කළ යුතු වන්නේ ය. මෙසේ චතුපාරිශුද්ධ සීලයෙහි පිහිටා පිරිසිදු සිල් ඇතිව වාසය කරන භාවනානුයෝගයෙන් වීර්යය කරන්නාහට මාර්ග ඵල ලැබීම වහාම සිද්ධ වන්නේය. එබැවින් ප...