Skip to main content

මහා දුර්භික්ෂ කාලයේදීත් රුක් දේවතාවුන්ගෙන් දන් පැන් ලැබූ සෘද්ධිමත් තම්බසුමන රහතන් වහන්සේ

ලක්දිව විසු රහතන් වහන්සේලා - 01 

 

තම්බසුමන රහතන් වහන්සේ කලින් ජීවිතයේදීත් ලංකාදීපයේ ම සද්ධාතිස්ස රජතුමා රාජ්‍යය කරන කල්හි ඉපිද රජතුමාට සේවය කරමින් රාජකාරියෙහි යෙදුණේ ය. එකල්හී රාජකාරියෙහි යෙදුණු ඒ පුරුෂයා රජතුමාගේ කටයුත්තකට කොටගල දනව්වට ගියේ ය. එහි වාසය කරන මිනිස්සු ඔහුට ආගන්තුක සත්කාර කරමින්, ගිතෙල් හා නොයෙක් ව්‍යඤ්ජනයන්ගෙන් යුක්ත බත් පිස අනුභව කරන්නට දුන්නෝ ය. ඒ රාජ පුරුෂයා ආහාර ගැනීම සඳහා සූදානම් වන විට එක් භික්ෂූන් වහන්සේනමක් පිඬු සිඟා වඩිමින් එතනට පැමිණියහ. ඒ පුරුෂයා තෙරුන් දැක පැහැදී උන්වහන්සේගේ පාත්‍රය ගෙන ගිතෙල් සහිත බත් තෙරුන්ට පූජා කළේ ය. උන්වහන්සේ බත් වළඳා වැඩිපුර ඇති ගිතෙල්, බෙහෙත් සඳහා තැබූ සේක. ඒ පුරුෂයා මේ පින්කම පමණක් සිද්ධ කොට ආයු කෙළවර කලුරිය කොට මේ ලංකාද්වීපයෙහි ම වලගම නම් ගමෙහි එක් කුලයක උපන්නේ ය.

ඔහුගේ දෙමව්පියෝ ‘සුමන’ යන නමින් ඔහුට කථා කළහ. සුමන පුත්‍රයා වැඩිවිය පැමිණ සුදුසු කල්හි විවාහ වී ගෙදර වාසය කරන්නේ නොබෝ කලකින් ම ගිහිගෙයි ආදීනව දැක, මහණකමේ අනුසස් දැන සියලු සම්පත් හැර දමා බ්‍රාහ්මණ රාම නම් විහාරයට ගොස් බුදු සසුනෙහි පැවිදි විය. පටන් ගත් වීර්ය ඇති ව නිවන් දැකීමේ අරමුණින් ම ධර්මයේ හැසිරෙන, වත් පිළිවෙත්හි සරු ව වසන උන්වහන්සේ නොබෝ කලකින් ම විදර්ශනා වඩා රහත් බවට පත් වූයේ ‘තම්බ සුමන මහ තෙරුන් වහන්සේ’ යැයි හෙළදිව ප්‍රසිද්ධ වූ සේක. සීල සම්පන්න වූ, අල්පේච්ඡ වූ, අවවාදයෙන් අන්‍යයන් හික්මවන්නෙක් වූ තම්බසුමන රහතන් වහන්සේ පන්සියයක් ශිෂ්‍ය භික්ෂූන් සමඟ ආරණ්‍යයේ වාසය කළහ.

තම්බසුමන රහතන් වහන්සේගේ පින් බලයෙන් එම විහාරයෙහි වසන තිඹිරි ගසකට අධිගෘහිත වූ දේවතාවෙක් නිරන්තරයෙන් දිව්‍ය ආහාර පානාදියෙන් උපස්ථාන කරන්නේ ය. උන්වහන්සේගේ උපසම්පදාවෙන් දොළොස්වෙනි අවුරුද්දේ මේ ලංකාදීපයේ බැමිණිතියා සාය නම් වූ මහා දුර්භික්ෂයක් හටගත්තේය. දොළොස් අවුරුද්දක් වැහි බිඳුවක් පොළොවට නොවැටුනේ ය. මෙසේ දුර්භික්ෂ භයින් පීඩාවට පත් මිනිස්සු ගම්දනව් හැර දමා ආහාර සොයමින් ඇවිද යන්නට වූහ. 

තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් ආහාර නැතිකමෙන් ක්ලාන්ත වෙනු දැක උන්වහන්සේලා සමීපයට කැඳවා, “ඇවැත්නි, අපි ජම්බුද්වීපයට ගොස් ජීවත් වෙමු”යි යෝජනා කොට ගමනට සූදානම් වූහ. මෙය දුටු තිඹිරි ගසේ අධිගෘහිත දිව්‍ය පුත්‍රයා, “ස්වාමීනී, නුඹ වහන්සේ අතීත කාලයෙහි එක් භික්ෂුනමකට පහන් සිතින්, කර්ම ඵල අදහමින් ගිතෙල් සහිත බත් දුන්නේ ය. ඒ ජීවිතයෙන් චුත වූ ඔබ ඒ පින්කමේ ආනුභාවයෙන් සැපවත් වූ මේ ජීවිතය ලද්දේ ය. ගිහි ගෙදර අතහැර බුදු සසුනෙහි පැවිදි වී විදර්ශනා වඩා රහත් වූයේත් එකල්හි දුන් දානයන්ගේ විපාක ලෙසිනි. මා විසින් දෙන ලද දිව්‍යමය ආහාර වළඳන්නේ ද ඒ පිනේ විපාකයෙනි. මේ සිංහල ද්වීපයෙහි මේ දුර්භික්ෂය යම් කලෙක සන්සිඳේ ද ඒ තාක් කඩ නොකොට දානය දෙමි. මට අනුකම්පා කොට ශිෂ්‍යයන් සමඟ මෙහි ම වාසය කළ මැනව.” යි කී ය. මෙසේ ඒ දිව්‍ය පුත්‍රයා උන්වහන්සේ දඹදිවට යන ගමන වළක්වා සිව්පසයෙන් උපස්ථාන කළේ ය. හේ නිරන්තරයෙන් ම තම්බසුමන රහතන් වහන්සේට දෙන්නා වූ සිව්පස දානය පන්සියදෙනා වහන්සේලාට ම සෑහෙන්නේ ය. මේ දිව්‍ය පුත්‍රයා මෙසේ දොළොස් අවුරුද්දක් උන්වහන්සේට උපස්ථාන කළේ ය.

දුර්භික්ෂ භය සන්සිඳුණු පසු උන්වහන්සේ දිව්‍ය පුත්‍රයාට දැනුම් දී ජනපද චාරිකාවේ පිටත් වූහ. ගම් නියම්ගම් පිළිවෙළින් ගොස් රජරට ‘කඩරොද්ද’ නම් ගමට පිඬු පිණිස වැඩම කොට දානය වළඳන්නට සූදානම් වූ සේක. එවෙලෙහි වලාකුළෙන් හිරු වැසී ආලෝකය නොපෙනෙන හෙයින් සමහර භික්ෂූන් වහන්සේලා වේලා ඇද්දෝයි නැද්දෝයි සැකයෙන් නොවළඳා සිටි සේක. එකල තම්බසුමන මහ තෙරුන් වහන්සේ නොවළඳා සිටි භික්ෂූන්ගේ සැක දුරු කිරීමට එක් ගල් කැටයක් ගෙන නිය අගින් අහසට දැමූ සේක. එකල්හි එම ගල් කැටය අහසට නැගී ඉර උදා වූවා සේ දිලිසෙමින් බබළන්නට විය. ඉන් පසු භික්ෂූන් වහන්සේලා සැක නැතුව දානය වැළඳූ සේක. එතැන් පටන් එම ස්ථානය මිණිසූර්ය (මින්නේරිය) නමින් ප්‍රසිද්ධ විය.

 තෙරුන් වහන්සේ එතැනින් නික්ම මහවැලි ගඟ සමීපයේ සුළුවැසර නම් ගම පිඬු සිඟා වැඩ ගංතෙර වැඩ හිඳ දන් වළඳන සේක්, සෙසු භික්ෂූන් වහන්සේලා රූක්ෂ වූ බතක් වළඳන බව දැක, “ඇවැත්නි, සුවඳ ගිතෙල් සමඟ බත් අනුභව කළ මැනවැ.” යි කියා පෙර භවයේ දී දන් දුන් ගිතෙල් දානය සිහි කොට මේ ගංගා ජලය ගිතෙල් වේවා යි අධිෂ්ඨාන කළ සේක. ගංගා ජලය එවෙලේ ගිතෙල් බවට පත් විය. භික්ෂූහු එයින් ගිතෙල් ගෙන බත් වැළඳූ සේක. මෙසේ ගඟ ගිතෙල් වූ බව අසා ගඟ දෙපස ගම්වල මිනිස්සු කළ මුට්ටි ආදී භාජන ගෙනවුත් ගිතෙල් පුරවා ගෙන ගියහ’යි කියත්.
එක් දිනක් තම්බසුමන රහතන් වහන්සේ ගමට පිඬු පිණිස යන්නේ මඳ පින් ඇති, ජීවත් වීමට එක් දිනක් පමණක් ඉතිරිව ඇති ගොවියෙකු දැක අනුකම්පා කොට ඔහු ඉදිරියට වැඩි සේක. ඒ මිනිසා තෙරුන් දැක සතුටුව ඇවිත් වැඳ වස්ත්‍ර ජෝඩුවක් ගෙනවුත් වැඩ හිඳීම සඳහා දැමී ය. තෙරනම ඔහුට අනුකම්පා කොට එම ආසනයේ වැඩහිඳගෙන ඔහු දුන් අඹ කැඳ වැළඳූහ. ඒ කැඳ වළඳන කල්හි ඒ මිනිසා අත්තක් කඩා ගෙනවුත් තෙරුනට අව්ව වැළකීම සඳහා එය අල්වාගෙන සිටියේ ය. තෙරුන් වහන්සේ කැඳ වළඳා වැඩි නොබෝ වේලාවකින් සර්පයෙකු දෂ්ඨ කොට ඔහු මිය ගියේ ය. එසේ මිය ගොස් දඹදිව සාතවාහන රජ කුලයෙහි දර්ශනීය අඟ පසඟකින් යුත් සිත්කළු කුමරෙකු වී ඉපදුණේ ය. කාලයක් ගිය පසු ඔහු රාජ්‍යත්වයට පත් වී දානයක් දුන්නේ ය. තම්බසුමන රහතන් වහන්සේ දිවැසින් එය දැක අහසින් ගොස් එම සංඝාරාමයට පිවිස සංඝ ස්ථවිර වී භික්ෂූන් සමඟ ඒ රජගෙට ගොස් දන් වළඳා අනුමෝදනා කොට අවසන්හි රජුගේ පෙර ජාතියෙහි විස්තරය කියූහ. එය ඇසූ රජතුමාගේ සිත නොසතුටු වූ බව දැන පර සිත් දන්නා තෙරණුවෝ, “මහරජ, යම් තැනක ස්වල්ප දෙයක් දී මහත් ඵල ලබන්නේ නම් ඒ සර්වඥ ශාසනයෙහි පහදිනු මැනවැ.” යි දහම් දෙසූ සේක. පහන් සිතැති රජ ඒ ධර්ම දේශනාව අසා සෝවාන් ඵලයට පත් විය. සාතවාහන රජතුමා තමාගේ පූර්ව කර්මය ද අසා දැනගෙන වැඩි වැඩියෙන් දන් දුන්නේ ය. රජුට මෙසේ දහම් දෙසා ධර්ම ප්‍රීතිය ඇති කොට තෙරණුවෝ අහසින් ම වැඩි සේක. සාතවාහන රජ කුලයෙහි රජවරු 36 දෙනෙක් වූහ. එයින් අට දෙනෙක් හැර සියල්ලෝ ම මග ඵල ලැබුවෝ ය.

මෙසේ තම්බසුමන රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ ලක්දිව බොහෝ මිනිසුනට ලබා දුන් සේක. උන්වහන්සේ පෙර ජීවිතයේ ගිතෙල් සහිත බත නම් වූ ප්‍රණීත භෝජනය දන් දී දිව බොජුන් පමණක් නොව අමා මහ නිවන නම් වූ අමෘත බොජුන වළඳන්නට ද පින් තිබූ සේක. ලොවට අනුකම්පා ඇති ඒ රහත් මුනිවරයන් වහන්සේ ආයු ඇති තාක් වැඩ හිඳ පහන්සිළක් නිවෙනා ලෙස පිරිනිවන් පා වදාළ සේක. ඒ මහෝත්තම මුනිවරුන්ගේ ශ්‍රී නාමයට අපමණ රහත් ගුණ කඳ සිහි කොට පහන් සිතින් මලක් පිදුවත්, පහනක් දැල්වුවත්, සුවඳින් පිදුවත් ඒ සියලු දෙනාට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතින්නේ ම ය. ලංකාද්වීපය සුවඳවත් කළ, මේ ලංකාද්වීපය සනහ සනහා වැඩම කළ, බොහෝ දෙනාට යහපත සැලසූ, ෂඞ් අභිඤ්ඤාලාභී වූ, බුදුරජුන්ගේ හද මඬලින් උපන් තම්බසුමන රහතන් වහන්සේට නමස්කාර වේවා…!

රසවාහිනී ඇසුරින් සකස් කරන ලදී. 

 #උත්තම_තෙරණි_වන්දනා #ලක්දිව_බුදුසසුන #රහතන්_වහන්සේලා #buddhistbhikku #බුදු_සසුන #trendingpost #තම්බසුමන_තෙරුන්_වහන්සේ

Comments

Popular posts from this blog

පහන් පූජාවෙන් නිවන් මග විවර කරගත් පඤ්චදීපා රහත් තෙරණිය

​මීට කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි, ඇය හංසවතී නගරයෙහි කුසල් දහම් සොයා ඇවිදිනා සැදැහැති උපාසිකාවක වූවාය. ​දිනක්, දැඩි අන්ධකාරයෙන් පිරි අමාවක පොහෝ දිනෙක ඇය උතුම් බෝධීන් වහන්සේ අභියසට පැමිණියාය. නිසල රාත්‍රියේ, කළුවර මැද වැඩසිටි ඒ මහා බෝ රුක දුටු ඇයට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසදෘශ වූ, ප්‍රබල ශ්‍රද්ධාවක් උපන්නාය. ඇය ඒ බෝධි මූලයෙහි  එකත් පස්ව අසුන් ගත්තාය. ​ඇය දොහොත් මුදුන් දී වැඳ, අතිශය සොම්නස් සහගත සිතින් යුතුව මෙසේ සත්‍ය ක්‍රියාවක් කළාය, ​"ඉදින් මාගේ බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ගුණ ඇති සේක් නම්, ලොව අසමසම වූ සාස්තෘන් වහන්සේ  වන සේක් නම්, මා කෙරෙහි අනුකම්පාවෙන් මට පෙළහරක් දක්වන සේක්වා! මේ මහා බෝ වෘක්ෂය ආලෝකයෙන් බබළවන සේක්වා!" ​ඇයගේ ඒ නොසැලෙන ශ්‍රද්ධාවේ බලයෙන් සහ චිත්තවේගයේ පවිත්‍රත්වය නිසා, සිතූ සැණින්ම මුළු බෝධි වෘක්ෂයම දිව්‍යමය ආලෝකයකින් ඒකාලෝක විය. සතර දිශාවම බැබළෙමින්, මුළු බෝ රුකම රනින් නිම කළාක් මෙන් දිලිසෙන්නට විය. ​මෙම පෙර නොදුටූ විරූ ප්‍රාතිහාර්යයෙන් මහත් ප්‍රීතියට පත් ඇය, සත් අහොරෑයක් (දින හතක්) පුරා ඒ බෝධි මූලයෙහිම ධ්‍යාන...

විපස්සී බුදු රදුන්ට කැවුම් පුදා කල්ප අනූ එකක්ම සුගතිගාමී වූ රෝහිණි රහත් තෙරණිය

මෙයින් මහා කල්ප අනූඑකකට පෙර ලොව පහළ වූ, තිලෝගුරු විපස්සි බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මේ පින්වත් උත්තමාවිය බන්ධුමතී නුවර එක්තරා කුලගෙයක උපත ලැබුවාය. සංසාරයේ බොහෝ පින්කම් කරමින් ආ ඕ තොමෝ, දිනක් බන්ධුමතී නගරයෙහි ශාන්ත ඉන්ද්‍රියයන්ගෙන් යුතුව, මහත් වූ බුද්ධ තේජසින් පිඬු පිණිස වඩිනා විපස්සි බුදුරජාණන් වහන්සේව දුටුවාය. ​දක්නන්ගේ නෙතට මෙන්ම සිතටද අමා නිවනක් ගෙන දුන් බුදුරජාණන් වහන්සේ දුටු සැණින් ඇගේ මුළු සිරුරම ප්‍රීතියෙන්, සොම්නසින් කිලිපොලා ගියේය. ඇය වහා දිව ගොස් මහත් වූ ශ්‍රද්ධාවෙන් තමා සන්තකයේ තිබූ කැවුම්, දානයක් ලෙස බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය පුරවා පූජා කළාය. පූජා කොට අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත්ව, උතුම් වූ පසඟ පිහිටුවා අසීමිත ශ්‍රද්ධවෙන්  බුදු සමිඳුන් අභියස වැඳ වැටුණාය. ​එක් දිනක්, එකම එක වතාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන පූජා කළ ඒ උතුම් කැවුම් දානයේ විපාකය කෙතරම් ආශ්චර්යවත්ද යත්, ​ඇය ඉන් පසු කිසිදු දිනක, එකදු ආත්මයක හෝ දුගතියකට (අපායකට) නොගියාය. ​සුගතිගාමී දෙව්ලොව උපත ලබා, තව්තිසා දිව්‍ය ලෝකයේ දේවරාජයන් තිස්හය දෙනෙකුගේ (36) ප්‍රධාන අගමෙහෙසිය වීමේ වාසනාව ලැබුවාය...

ඇතෙකුගේ පා අතර හිඳ රහත් වූ තිස්සනාග රහතන් වහන්සේ

ලක්දිව වැඩසිටි රහතන් වහන්සේලා - 7 ලංකාද්වීපයේ රුහුණු ජනපදයෙහි ‘කෙළෙඹිය’ නම් විහාරයක් පිහිටා තිබුණේය. ඒ විහාරයෙහි මහත් වු ශ්‍රද්ධා ඇති තිස්සනාග නම් මහා තෙරුන් වහන්සේනමක් ප්‍රධානව වසන සේක. උන්වහන්සේ එක් දිනක් අමර ලෙන වසන සිව්පිළිසිඹියා පත් තිස්ස මහරහතන් වහන්සේ සමීපයට ගොස් පත්කඩය එළා වැඳ එකත්පස්ව වාඩිවුණ සේක. නේවාසික තෙරුන් වහන්සේලා ද පැමිණ මිහිරි වූ පිළිසඳර බස් කථා කොට එක් පැත්තකින් වාඩි වී උන් සේක. එවිට තිස්ස මහරහතන් වහන්සේ අවවාද වශයෙන් කියනුයේ, “ඇවැත්නි, සැදැහැයෙන් මහණ වූ ඔබවහන්සේලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව ආචාර ගෝචර සම්පන්නව වාසය කළ යුතුයි. ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුතුව සිහිනුවණින් වාසය කළ යුතුයි. ආජීව පාරිශුද්ධ සීලය ආරක්ෂා කරගත යුතුයි. මිථ්‍යා ආජීවයෙන් දුරුව කෙලෙස් තවන වීර්යය නමැති සම්පත්තියෙන් වාසය කළ යුත්තේය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදී සිව්පසය නුවණින් යුතුව පරිභෝග කරමින් ප්‍රත්‍යය සංනිශ්‍රිත සීලයෙන් වාසය කළ යුතු වන්නේ ය. මෙසේ චතුපාරිශුද්ධ සීලයෙහි පිහිටා පිරිසිදු සිල් ඇතිව වාසය කරන භාවනානුයෝගයෙන් වීර්යය කරන්නාහට මාර්ග ඵල ලැබීම වහාම සිද්ධ වන්නේය. එබැවින් ප...