Skip to main content

සාරාණීය වත පිරූ ලෙනගිරිවාසී තිස්ස මහතෙරුන් වහන්සේ


ශාසන දායාදය ලබන භික්ෂූන් වහන්සේ සම්පූර්ණ කරන වතක් තමයි සාරාණීය වත කියලා කියන්නේ. පිණ්ඩපාතයේ ගිහින් පාත්‍රයට ලැබෙන ආහාර පළමු කොටම ගිලනුන්ටත්, දෙවනුව ගිලනුන්ට උපස්ථාන කරන අයටත්, තුන්වනුව අලුත පැවිදි වුණු හරිහැටි සිවුරු පෙරවිය නොහැකි භික්ෂූන්ටත් දිය යුතු වෙනවා.

අනතුරුව විහාරයේ මහතෙරුන් වහන්සේ ඇතුළු අනෙක් මහා සංඝයාටත් පිරිනැමිය යුතු වෙනවා. මේ හැම දෙනාට ම තමන් වහන්සේ ලැබූ ආහාර පිළිගන්වා අවසානයට ඉතිරිවුණ දෙයක් වැළඳිය යුතු වෙනවා. තමන්ට ආහාර ඉතිරි නොවුණා නම් නැවතත් පිණ්ඩපාතයේ වැඩම කරලා ආහාර සොයාගෙන පැමිණිය යුතු වෙනවා. මේ විදිහට අඛණ්ඩ ව දොළොස් අවුරුද්දක් සම්පූර්ණ කළහොත් එම භික්ෂුව සාරාණීය වත සම්පූර්ණ කළ භික්ෂුවක් හැටියට සැලකෙනවා.

යම් හේතුවකින් පිණ්ඩපාතයේ වැඩම කරලා සොයා ගත් දාන පාත්‍රය දානශාලාවේ හෝ ආවාස ගේ හෝ තියලා පැන් පහසුවීමට ගිහින් ආයෙත් ඇවිත් බලන කොට පාත්‍රයේ ආහාර තමන් වහන්සේට නො කියා විහාරයේ අනෙක් තෙරුන් වහන්සේ වළඳා තිබෙනු දැකලා ‘මට ඉතිරි කරන්නේ නැතිව ඔක්කොම වළඳලා’යි මුවින් නොකියා සිතින් සිතූ පමණින් ම සාරාණීය වත බිඳී යනවා. එහෙම වුණොත් ඒ මොහොතේ ඉඳන් ආයෙත් ඒ ව්‍රතය පිරිය යුතු වෙනවා. ඉතාම අපහසු කාර්යයක් තමයි මේ සාරාණීය වත කියලා කියන්නේ.

යම් අධිෂ්ඨානයකින් යුක්තව කිසියම් භික්ෂුවක් මේ ව්‍රතය සම්පූර්ණ කළහොත් ඔහුගේ ඊර්ෂ්‍යාවත්, මසුරුකමත් නැතිවී යනවා. ඒවගේ ම මිනිසුන්ට ප්‍රිය වෙනවා. ඒ විතරක් නෙවෙයි, පිරිකර පූජා කිරීමේ දී ඉතා අගනාම, වටිනාම පිරිකර ලැබෙනවා. පාත්‍රයෙන් කොපමණ පිණ්ඩපාතය බෙදා දුන්නත් කිසිම අඩුවක් වෙන්නේ නෑ. සාරාණීය වතේ එතරම් බලයක් ද පවතිනවා.

සංඝ ශාසනයේ හෙළදිව පහළ වුණු ලෙණගලවාසී තිස්ස තෙරුන් වහන්සේ මේ ව්‍රතය සම්පූර්ණ කළ මහ තෙරනමක් බව දීගනිකායට්ඨකතාවේත්, මජ්ක්‍ධිම නිකායට්ඨකථාවේ කෝසම්බක සුත්තවණ්ණනාවේත් සඳහන් වෙනවා. අටුවා කථා පුවත් අනුව පෙනෙන්නේ මේ තෙරුන් වහන්සේට යම්කිසි පිරිකරක් හිතාමතාම ලැබීමට නො සැලැස්සුවත් එය ලැබුණු බවක්.

දවසක් තිස්ස තෙරුන් වහන්සේ වැඩම කළා මහකිරිගම කියන ගමට. එතැන විහාරයක වැඩ සිටියා. ඒ විහාරය අසලින් මාර්ගයක් වැටිල තිබුණා නාගදීප විහාරයට යන්න. දුර පළාතක ඉදලා භික්ෂූන් වහන්සේ පනස්නමක් මේ ගම හරහා යන වේලාවේ දහවල් දාන වේලාව යෙදී තිබුණා. තෙරුන් වහන්සේ පනස්නම ම තීරණය කළා. මහකිරිගමට වැඩම කරලා පිණ්ඩපාතය කරන්න. කථිකා කර ගත්තා වගේම ගමට වැඩම කළා. පනස් නමට ම කිසිම ආහාරයක් පාත්‍රවලට ලැබුණේ නෑ.

තිස්ස තෙරුන් වහන්සේත් මේ අවස්ථාවේ ම ගමට වැඩම කළා. පනස්දෙනා වහන්සේ මඟ දී හමුවෙලා ඇහුවා

‘ස්වාමිනි, ඔබ වහන්සේට පිණ්ඩපාතය ලැබුණා ද? කියලා. මහතෙරුන් වහන්සේ පිළිතුරු දෙනවා

‘ස්ථවිරයන් වහන්ස, අප පනස් දෙනා වහන්සේට ම කිසිම ආහාරයක් ලැබුණේ නෑ’ කියලා.

ඒ අවස්ථාවේ තිස්ස තෙරුන් වහන්සේ ‘එහෙම නම් මම පිණ්ඩපාතයේ වැඩම කරලා එන තෙක් මෙතැන ම වැඩ ඉන්න’ කියලා ගමට වැඩම කළා. තිස්ස තෙරුන් වහන්සේ වඩිනකම් මඟ බලන් හිටිය එක් උපාසිකාවක් රසට සකසා ගත් කිරිබතක් පාත්‍රයට පූජා කළා. තිස්ස තෙරුන් වහන්සේ ඒවා අරගෙන ගිහින් පනස් නමට ම බෙදා දුන්නා. තමන් වහන්සේත් ඇති පමණ වැළඳුවා.

අවසානයේ දී මහතෙරුන් වහන්සේ අහනවා

‘ස්ථවිරයන් වහන්ස, ඔබ වහන්සේ ලෝකෝත්තරභාවය ලැබුවේ කවදාද? කියලා. ඒ අවස්ථාවේ කියනවා

‘ස්වාමිනි, මම ලෝකෝත්තර තත්ත්වයට තවම පත්වෙලා නෑ. ඒ විතරක් නෙවෙයි, මම තවම ධ්‍යානලාභියෙක්වත් නොවෙයි. ඒත් මම සාරාණීය වත සම්පූර්ණ කළා’යි පවසනවා. ‘මේ පුවත තෙරුන් වහන්සේගෙන් දායකයන්ටත්, දායකයන්ගෙන් මන්ත්‍රීවරුන්ටත්, ඔවුන්ගෙන් ඇමැතිවරුන්ටත්, අවසානයේ රජතුමාටත් ආරංචි වුණා. ආරංචිය තමයි තිස්ස තෙරුන් වහන්සේට කිසිම හේතුවකින්වත් පිණ්ඩපාතය හෝ පිරිකර ලැබීම හෝ වළක්වන්න බෑ කියන එක.

දවසක් මිහින්තලේ පැවැත්වුණා ගිරිභණ්ඩ පූජාවක්. මේ පූජාවට රජතුමාත් පැමිණ සිටියා. රජතුමා තමයි සඟමහලු පිළිවෙළින් වැඩම කරන සංඝයා වහන්සේට පිරිකර පූජා කරන්නේ.

මේ තිස්ස තෙරුන් වහන්සේ එතරම් වයසට ගිය කෙනෙක් නොවෙයි. උන්වහන්සේට වඩා වැඩිහිටි තෙරුන් වහන්සේ බොහෝ ප්‍රමාණයක් එතැන වැඩ හිටියා. තිස්ස තෙරණුවෝ පිරිකර දිහා බලලා ඉතාම අගනා වස්ත්‍ර දෙකක් දැකලා

‘මට තමයි ඔය වටිනා ම වස්ත්‍ර දෙක ලැබෙන්නේ’යි කිව්වා. මේක අහගෙන හිටිය එක් ඇමැතියෙක් වහාම දුවගෙන ගිහින් රජතුමාට කිව්වා.

‘රජතුමනි, අර පෙනෙන්න වැඩ ඉන්න තරුණ තෙරුන් වහන්සේ කියනවා උන්වහන්සේටලු මේ අගනා ම වස්ත්‍ර දෙක ලැබෙන්නේ කියලා.

ඒ මොහොතේ ම රජතුමා ඒවා පැත්තකින් අයින් කරලා තියනවා ඉතා මහළු තෙරවරුන්ගේ ශරීරයට සැහැල්ලුවක් ඇති කිරීමට පූජා කරන්න ඕන කියලා. පිළිවෙළින් වැඩම කරන මහ තෙරවරුන්ට පිරිකර පූජා කරන්න පටන් ගත්තා. එහෙම වුණත් රජතුමාට අමතක වුණා ඒ වටිනා වස්ත්‍ර දෙක වැඩිහිටි තෙරවරුන්ට පූජා කර ගන්න.

තිස්ස තෙරුන් වහන්සේ ව හොඳින් ම මතක තියාගෙන පිරිකර පූජා කළත් උන්වහන්සේ රජු ඉදිරියට වැඩම කරන කොට ම රජතුමාටත් නොදැනීම වටිනා වස්ත්‍ර දෙකම උන්වහන්සේට පූජා කළා. අර ඇමැතිවරයා ඒක දැකලා රජතුමාට කිව්වා.

‘රජතුමනි, ඔබ වහන්සේ මේ පිරිකර දෙක පූජා කළේ පූජා නොකළ යුතු භික්ෂුවට නේද කියලා. ඒ මොහොතේ ම රජතුමා කියනවා

‘මේ පිරිකර පූජා කර අවසන් වෙනකම් තිස්ස තෙරුන් වහන්සේ ව මොහොතකට නවතා ගන්න’ කියලා. කටයුතු අවසන් වුණාට පස්සේ තිස්ස තෙරුන් වහන්සේ වෙත ගිහින් නමස්කාර කරලා

‘ස්වාමිනි, ඔබ වහන්සේ ලෝකෝත්තරභාවය අවබෝධ කර ගත්තේ කවදා ද?’කියලා ඇහුවා. තෙරුන් වහන්සේ කියනවා

‘රජතුමනි, මම ලෝකෝත්තර තත්ත්වයට පත්වෙලා නෑ. ධ්‍යානලාභියෙක්වත් නොවයි. ඒත් මම සාරාණීය වත සම්පූර්ණ කළා’යි පිළිතුරු දුන්නා.

මේ කථා පුවතින් අපට පෙන්වා දෙන්නේ දන් දෙන අයගේ මසුරුකම නැතිවී යන බවත්, සිතූපැතූ සම්පත් ලැබෙන බවත්, ඒවා වළක්වන්න රජතුමාටවත් හැකියාවක් නැති බවත් ය.

ඒ නිසා පින්වතුනි, පුළුවන් හැම මොහොතක ම දන් දෙන්න. එය පාරමිතාවක් මෙන් පුරන්න. බුදුරජාණන් වහන්සේ ආත්ම ගණනාවක් දාන පාරමිතාව පූරණය කළ නිසා පිරිනිවන් පා අවුරුදු දහස් ගණනක් ගත වුණත් අදටත් උන්වහන්සේ වෙනුවෙන් වෙන්වන රසවත් පිණ්ඩපාතය කඳු වශයෙන් ගොඩ කළහොත් එහි උස කියා නිම කරන්න බැරි තරම් වෙනවා.

දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
ආචාර්ය පදියතලාවේ අමරවංශ හිමි

#ලක්දිව_බුදුසසුන #ගෞතම_බුදුසසුන #උත්තම_තෙරණි_වන්දනා #සාරාණීයවත #දානානිශංස #buddhistbhikku

Comments

Popular posts from this blog

පහන් පූජාවෙන් නිවන් මග විවර කරගත් පඤ්චදීපා රහත් තෙරණිය

​මීට කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි, ඇය හංසවතී නගරයෙහි කුසල් දහම් සොයා ඇවිදිනා සැදැහැති උපාසිකාවක වූවාය. ​දිනක්, දැඩි අන්ධකාරයෙන් පිරි අමාවක පොහෝ දිනෙක ඇය උතුම් බෝධීන් වහන්සේ අභියසට පැමිණියාය. නිසල රාත්‍රියේ, කළුවර මැද වැඩසිටි ඒ මහා බෝ රුක දුටු ඇයට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසදෘශ වූ, ප්‍රබල ශ්‍රද්ධාවක් උපන්නාය. ඇය ඒ බෝධි මූලයෙහි  එකත් පස්ව අසුන් ගත්තාය. ​ඇය දොහොත් මුදුන් දී වැඳ, අතිශය සොම්නස් සහගත සිතින් යුතුව මෙසේ සත්‍ය ක්‍රියාවක් කළාය, ​"ඉදින් මාගේ බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ගුණ ඇති සේක් නම්, ලොව අසමසම වූ සාස්තෘන් වහන්සේ  වන සේක් නම්, මා කෙරෙහි අනුකම්පාවෙන් මට පෙළහරක් දක්වන සේක්වා! මේ මහා බෝ වෘක්ෂය ආලෝකයෙන් බබළවන සේක්වා!" ​ඇයගේ ඒ නොසැලෙන ශ්‍රද්ධාවේ බලයෙන් සහ චිත්තවේගයේ පවිත්‍රත්වය නිසා, සිතූ සැණින්ම මුළු බෝධි වෘක්ෂයම දිව්‍යමය ආලෝකයකින් ඒකාලෝක විය. සතර දිශාවම බැබළෙමින්, මුළු බෝ රුකම රනින් නිම කළාක් මෙන් දිලිසෙන්නට විය. ​මෙම පෙර නොදුටූ විරූ ප්‍රාතිහාර්යයෙන් මහත් ප්‍රීතියට පත් ඇය, සත් අහොරෑයක් (දින හතක්) පුරා ඒ බෝධි මූලයෙහිම ධ්‍යාන...

විපස්සී බුදු රදුන්ට කැවුම් පුදා කල්ප අනූ එකක්ම සුගතිගාමී වූ රෝහිණි රහත් තෙරණිය

මෙයින් මහා කල්ප අනූඑකකට පෙර ලොව පහළ වූ, තිලෝගුරු විපස්සි බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මේ පින්වත් උත්තමාවිය බන්ධුමතී නුවර එක්තරා කුලගෙයක උපත ලැබුවාය. සංසාරයේ බොහෝ පින්කම් කරමින් ආ ඕ තොමෝ, දිනක් බන්ධුමතී නගරයෙහි ශාන්ත ඉන්ද්‍රියයන්ගෙන් යුතුව, මහත් වූ බුද්ධ තේජසින් පිඬු පිණිස වඩිනා විපස්සි බුදුරජාණන් වහන්සේව දුටුවාය. ​දක්නන්ගේ නෙතට මෙන්ම සිතටද අමා නිවනක් ගෙන දුන් බුදුරජාණන් වහන්සේ දුටු සැණින් ඇගේ මුළු සිරුරම ප්‍රීතියෙන්, සොම්නසින් කිලිපොලා ගියේය. ඇය වහා දිව ගොස් මහත් වූ ශ්‍රද්ධාවෙන් තමා සන්තකයේ තිබූ කැවුම්, දානයක් ලෙස බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය පුරවා පූජා කළාය. පූජා කොට අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත්ව, උතුම් වූ පසඟ පිහිටුවා අසීමිත ශ්‍රද්ධවෙන්  බුදු සමිඳුන් අභියස වැඳ වැටුණාය. ​එක් දිනක්, එකම එක වතාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන පූජා කළ ඒ උතුම් කැවුම් දානයේ විපාකය කෙතරම් ආශ්චර්යවත්ද යත්, ​ඇය ඉන් පසු කිසිදු දිනක, එකදු ආත්මයක හෝ දුගතියකට (අපායකට) නොගියාය. ​සුගතිගාමී දෙව්ලොව උපත ලබා, තව්තිසා දිව්‍ය ලෝකයේ දේවරාජයන් තිස්හය දෙනෙකුගේ (36) ප්‍රධාන අගමෙහෙසිය වීමේ වාසනාව ලැබුවාය...

ඇතෙකුගේ පා අතර හිඳ රහත් වූ තිස්සනාග රහතන් වහන්සේ

ලක්දිව වැඩසිටි රහතන් වහන්සේලා - 7 ලංකාද්වීපයේ රුහුණු ජනපදයෙහි ‘කෙළෙඹිය’ නම් විහාරයක් පිහිටා තිබුණේය. ඒ විහාරයෙහි මහත් වු ශ්‍රද්ධා ඇති තිස්සනාග නම් මහා තෙරුන් වහන්සේනමක් ප්‍රධානව වසන සේක. උන්වහන්සේ එක් දිනක් අමර ලෙන වසන සිව්පිළිසිඹියා පත් තිස්ස මහරහතන් වහන්සේ සමීපයට ගොස් පත්කඩය එළා වැඳ එකත්පස්ව වාඩිවුණ සේක. නේවාසික තෙරුන් වහන්සේලා ද පැමිණ මිහිරි වූ පිළිසඳර බස් කථා කොට එක් පැත්තකින් වාඩි වී උන් සේක. එවිට තිස්ස මහරහතන් වහන්සේ අවවාද වශයෙන් කියනුයේ, “ඇවැත්නි, සැදැහැයෙන් මහණ වූ ඔබවහන්සේලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව ආචාර ගෝචර සම්පන්නව වාසය කළ යුතුයි. ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුතුව සිහිනුවණින් වාසය කළ යුතුයි. ආජීව පාරිශුද්ධ සීලය ආරක්ෂා කරගත යුතුයි. මිථ්‍යා ආජීවයෙන් දුරුව කෙලෙස් තවන වීර්යය නමැති සම්පත්තියෙන් වාසය කළ යුත්තේය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදී සිව්පසය නුවණින් යුතුව පරිභෝග කරමින් ප්‍රත්‍යය සංනිශ්‍රිත සීලයෙන් වාසය කළ යුතු වන්නේ ය. මෙසේ චතුපාරිශුද්ධ සීලයෙහි පිහිටා පිරිසිදු සිල් ඇතිව වාසය කරන භාවනානුයෝගයෙන් වීර්යය කරන්නාහට මාර්ග ඵල ලැබීම වහාම සිද්ධ වන්නේය. එබැවින් ප...