Skip to main content

විමලා රහත් තෙරණින් වහන්සේගේ ගාථා වර්ණනාව


​විමලා තෙරණියෝ පෙර ලොව පහළ වූ බුදුවරුන්ගේ කාලවලදී ද සසුන් කෙරෙහි උදාර වූ පින්කම් (අධිකාර්යයන්) සිදු කොට, සසරේ ඒ ඒ භවයන්හි මහා පින් රැස් කරමින් පැමිණි හේතු සම්පත් ඇති පින්වන්තියකි.

​ඇය තමාගේ අවසාන භවය වූ මෙම ගෞතම බුද්ධෝත්පාද කාලයෙහි,  විභූතිමත් විසාලා මහ නුවර එක්තරා නගරශෝභනියකගේ (ගණිකාවකගේ) කුසෙහි දියණියක වී උපන්නාය. ඇයට මව්පියන් තැබූ නාමය "විමලා" නම් විය. ඕ ක්‍රමයෙන් වියපත් වී, තාරුණ්‍යයෙන් මුහුකුරා ගිය කල්හි, සිය මවගේ වෘත්තියම (නගරශෝභනී වෘත්තියම) තමාගේ ද ජීවනෝපාය කරගනිමින්, රූප මදයෙන් හා යෞවන මදයෙන් මත්ව විසාලා නුවර වාසය කළාය.

​දිනක්, සෘද්ධිමතුන් අතර අග්‍ර වූ, ඉඳුරන් දමනය කළ, ශාන්ත වූ ආයුෂ්මත් මහා මුගලන් මහ රහතන් වහන්සේ විසාලා නුවර පිඬු පිණිස හැසිරෙනු මේ විමලා දුටුවාය. උන්වහන්සේගේ අතිශය ශාන්ත වූ දේහ විලාසය දෙස බලා, අඥාන වූ ඇය,උන්වහන්සේ   කෙරෙහි පිළිබඳ සිතක් (රාග සිතක්) ඇති විය.

​ඇතැම් අටුවාචාරීන් වහන්සේලා පවසන පරිදි, බුදු සසුන කෙරෙහි ඊර්ෂ්‍යා කළ බාහිර තීර්ථකයන් (අන්‍ය ආගමිකයන්) විසින් මහා මුගලන් රහතන් වහන්සේ සිල් බිඳවා අපකීර්තියට පත් කරනු පිණිස මේ විමලාව මෙහෙයවන ලදී. ඔවුන්ගේ මෙහෙයවීමෙන් හෝ තමාගේම මෝඩකම නිසා හෝ ඇය මහා මුගලන් හිමියන් වැඩ වසන ආරණ්‍යයටම ගොස්, තමාගේ විසිතුරු රූප ලීලාවන් පෙන්වමින් උන්වහන්සේව රාගයෙන් පොළඹවා ගැනීමට දැඩි වෑයමක නිරත වූවාය.

​අතීත සංසාරයේ කරන ලද උදාර කුසල් ඇති මේ පින්වන්තිය දෙස මහා මුගලන් වහන්සේ මහා කරුණාවෙන් බැලූ සේක. උන්වහන්සේ ඇයගේ බාහිර අලංකාරයට යටින් ඇති ශරීරයේ සැබෑ පිළිකුල් සහගත, අශුභ ස්වභාවය දිවැසින් දැක, කරුණු පැහැදිලි කරමින් දැඩි ලෙස අවවාද කළ සේක, 

​"තී ඔය සරසාගෙන සිටින්නේ කුණු ලේ, මස්, නහර, ඇටවලින් සැදුණු, නව දොරකින් අශුචි ගලන්නා වූ මළකුණකි. ඔය බාහිර රූපයට රැවටී සසර මංමුළා නොවන්න!"

​උන්වහන්සේගේ ඒ ප්‍රඥාවන්ත, තියුණු අවවාද බස් ඇසීමත් සමඟම විමලාගේ සිතෙහි තිබූ රාගය මුළුමනින්ම සන්සිඳී, දැඩි සංවේගයක් ඇති විය. ඇය තමා කළ පාපය ගැන ලැජ්ජා වී, සිතෙහි හිරි-ඔතප් (පවට ඇති ලැජ්ජාව සහ බිය) පිහිටුවාගෙන බුදු සසුන කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුතුව උපාසිකාවක් බවට පත් වූවාය.

​පසුව, ගිහිගෙය කෙරෙහි කලකිරුණු ඇය භික්ෂුණීන් වහන්සේලා වෙත එළඹ පැවිදි බිමට පත් වූවාය. පැවිදි වී නොබෝ කලකින්ම, පෙර ආත්මයන්හි පුරුදු කළ හේතු සම්පත් ඇති බැවින්, දැඩි සේ වීර්යය වඩා සකල ක්ලේශයන්  නසා උතුම් මහා රහත්භාවයට පත් වූවාය.

​රහත්භාවයට පත් වූ විමලා තෙරණිය, තමා පෙර ගිහි කල ගත කළ අඥාන ජීවිතයත්, වර්තමානයේ ලත් උත්තරීතර ලෝකෝත්තර සුවයත් සසඳමින්, තමාගේ පිළිවෙත සිහිපත් කරමින් උදාන වශයෙන් මෙන්න මේ උතුම් ගාථා රත්නයන් ප්‍රකාශ කළ සේක:

මත්තා වණ්ණෙන රූපෙන සොභග්ගෙන යසෙනච, 
යොබ්බනෙන වුපත්ථද්ධා අඤ්ඤාසමතිමඤ්ඤිහං.

විභූසිත්‍වා ඉමං කායං සුචිත්තං බාලලාපනං, 
අට්ඨාසිං වෙසිද්වාරම්හි ඵද්දො පාසමිවොඩ්ඩිය.

පිලන්‍ධනං විදංසෙන්ති ගුය්හං පකාසිතං බහුං, 
අකාසිං විවිධං මායං උජ්ඣග්ඝන්තී බහුං ජනං.

සාජ්ජ පිණ්ඩං චරිත්‍වාන මුණ්ඩා සංඝාටිපාරුතා, 
නිසින්නා රුක්‍ඛමූලම්හි අවිතක්කස්ස ලාභිනී.

සබ්බෙ යොගා සමුච්ජින්නා යෙ දිබ්බා යෙ ච මානුසා, 
ඛෙපෙත්‍වා ආසවෙ සබ්බෙ සීතිභූතම්හි නිබ්බුතා.

පෙර මම මගේ ශරීර වර්ණයෙන් ද, රූප සෝභාවෙන් ද, කාගේත් ආකර්ෂණය දිනාගත් සෞභාග්‍යයෙන් ද, මට තිබූ කීර්තියෙන් (යශසින්) ද මත්ව සිටියෙමි. මගේ තරුණකමින් (යෞවනයෙන්) උදම් වූ මම, සෙසු සියලු කාන්තාවන් පහත් කොට සලකමින්, මා ඔවුන් සැමට වඩා උසස් යැයි සිතුවෙමි.

මෝඩ ජනයා පමණක් පසසන්නා වූ ද, මුළා කරන්නා වූ ද මේ කුණු සිරුර විසිතුරු වස්ත්‍රාභරණයෙන් සරසාගෙන, වැද්දෙකු සතුන් ඇල්ලීමට මලක් (උගුලක්) අටවා බලා සිටින්නාක් මෙන්, මම බොහෝ දෙනා දඩයම් කරනු පිණිස වේශ්‍යාවගේ දොරටුව අසල මාගේ සිරුර ප්‍රදර්ශනය කරමින් සිටියෙමි.

මගේ සිරුරේ පැළඳ සිටි ආභරණ එහාමෙහා කරමින් ද, ඇඳුමෙන් වැසුණු ශරීරයේ රහස් තැන් (බොහෝ තැන්) විවෘත කර පෙන්වමින් ද, මම බොහෝ දෙනා රාගයෙන් පොළඹවනු පිණිස නොයෙක් ස්ත්‍රී මායාවන් කෙළෙමි. මට රැවටුණු ඒ අඥාන ජනයාට නිරන්තරයෙන් සිනාසුනෙමි.

එදා එසේ හැසිරුණු ඒ මම, අද මාගේ හිසකෙස් මුඩු කරගෙන, පාත්‍රය අතට ගෙන, උතුම් සඟළ සිවුරු පොරවාගෙන පිඬු පිණිස හැසිරෙමි. සියලු ලාමක විතර්කයන්ගෙන් තොර වූ (අවිතක්ක) උත්තරීතර ද්විතීයික ධ්‍යාන සුවය හා නිවන් සැප ලබා, මම අද නිදහසේ රුක්මුලක වැඩ හිඳිමි!

කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන දිව්‍යමය වූ ද, මානුෂීය වූ ද සියලු සසර බැඳීම් (යෝගයන්) මම මුළුමනින්ම සිඳ බිඳ දැමුවෙමි. මාගේ සිතේ තිබූ සියලු ආස්‍රවයන් (කෙලෙස්) ක්ෂය කර දැමූ මම, සියලු කෙලෙස් ගිනි නිවාගෙන, අතිශයින්ම ශීතල වූ (සීතිභූත වූ), සදාකාලික උතුම් නිවන් සුවයෙන් සැනසුණෙමි!

සාදු! සාදු!! සාදු!!! රූප මදයෙන් හා යෞවන මදයෙන් මුළා වී සිට, සැබෑ ධර්මය දැකීමෙන් සියලු කෙලෙස් නසා වදාළ, උතුම් විමලා මහා රහත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! එතුමිය සැනසුන නිවනින් අපටද සැනසීම ලැබේවා. 

#විමලා_තෙරණිය #VimalaTheri #බුද්ධකාලයේ_භික්ෂුණින් #අපදාන #රහතන්_වහන්සේලා #ථේරිගාථා #උත්තම_තෙරණි_වන්දනා #buddhistnuns

Comments

Popular posts from this blog

පහන් පූජාවෙන් නිවන් මග විවර කරගත් පඤ්චදීපා රහත් තෙරණිය

​මීට කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි, ඇය හංසවතී නගරයෙහි කුසල් දහම් සොයා ඇවිදිනා සැදැහැති උපාසිකාවක වූවාය. ​දිනක්, දැඩි අන්ධකාරයෙන් පිරි අමාවක පොහෝ දිනෙක ඇය උතුම් බෝධීන් වහන්සේ අභියසට පැමිණියාය. නිසල රාත්‍රියේ, කළුවර මැද වැඩසිටි ඒ මහා බෝ රුක දුටු ඇයට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසදෘශ වූ, ප්‍රබල ශ්‍රද්ධාවක් උපන්නාය. ඇය ඒ බෝධි මූලයෙහි  එකත් පස්ව අසුන් ගත්තාය. ​ඇය දොහොත් මුදුන් දී වැඳ, අතිශය සොම්නස් සහගත සිතින් යුතුව මෙසේ සත්‍ය ක්‍රියාවක් කළාය, ​"ඉදින් මාගේ බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ගුණ ඇති සේක් නම්, ලොව අසමසම වූ සාස්තෘන් වහන්සේ  වන සේක් නම්, මා කෙරෙහි අනුකම්පාවෙන් මට පෙළහරක් දක්වන සේක්වා! මේ මහා බෝ වෘක්ෂය ආලෝකයෙන් බබළවන සේක්වා!" ​ඇයගේ ඒ නොසැලෙන ශ්‍රද්ධාවේ බලයෙන් සහ චිත්තවේගයේ පවිත්‍රත්වය නිසා, සිතූ සැණින්ම මුළු බෝධි වෘක්ෂයම දිව්‍යමය ආලෝකයකින් ඒකාලෝක විය. සතර දිශාවම බැබළෙමින්, මුළු බෝ රුකම රනින් නිම කළාක් මෙන් දිලිසෙන්නට විය. ​මෙම පෙර නොදුටූ විරූ ප්‍රාතිහාර්යයෙන් මහත් ප්‍රීතියට පත් ඇය, සත් අහොරෑයක් (දින හතක්) පුරා ඒ බෝධි මූලයෙහිම ධ්‍යාන...

විපස්සී බුදු රදුන්ට කැවුම් පුදා කල්ප අනූ එකක්ම සුගතිගාමී වූ රෝහිණි රහත් තෙරණිය

මෙයින් මහා කල්ප අනූඑකකට පෙර ලොව පහළ වූ, තිලෝගුරු විපස්සි බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මේ පින්වත් උත්තමාවිය බන්ධුමතී නුවර එක්තරා කුලගෙයක උපත ලැබුවාය. සංසාරයේ බොහෝ පින්කම් කරමින් ආ ඕ තොමෝ, දිනක් බන්ධුමතී නගරයෙහි ශාන්ත ඉන්ද්‍රියයන්ගෙන් යුතුව, මහත් වූ බුද්ධ තේජසින් පිඬු පිණිස වඩිනා විපස්සි බුදුරජාණන් වහන්සේව දුටුවාය. ​දක්නන්ගේ නෙතට මෙන්ම සිතටද අමා නිවනක් ගෙන දුන් බුදුරජාණන් වහන්සේ දුටු සැණින් ඇගේ මුළු සිරුරම ප්‍රීතියෙන්, සොම්නසින් කිලිපොලා ගියේය. ඇය වහා දිව ගොස් මහත් වූ ශ්‍රද්ධාවෙන් තමා සන්තකයේ තිබූ කැවුම්, දානයක් ලෙස බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය පුරවා පූජා කළාය. පූජා කොට අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත්ව, උතුම් වූ පසඟ පිහිටුවා අසීමිත ශ්‍රද්ධවෙන්  බුදු සමිඳුන් අභියස වැඳ වැටුණාය. ​එක් දිනක්, එකම එක වතාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන පූජා කළ ඒ උතුම් කැවුම් දානයේ විපාකය කෙතරම් ආශ්චර්යවත්ද යත්, ​ඇය ඉන් පසු කිසිදු දිනක, එකදු ආත්මයක හෝ දුගතියකට (අපායකට) නොගියාය. ​සුගතිගාමී දෙව්ලොව උපත ලබා, තව්තිසා දිව්‍ය ලෝකයේ දේවරාජයන් තිස්හය දෙනෙකුගේ (36) ප්‍රධාන අගමෙහෙසිය වීමේ වාසනාව ලැබුවාය...

ඇතෙකුගේ පා අතර හිඳ රහත් වූ තිස්සනාග රහතන් වහන්සේ

ලක්දිව වැඩසිටි රහතන් වහන්සේලා - 7 ලංකාද්වීපයේ රුහුණු ජනපදයෙහි ‘කෙළෙඹිය’ නම් විහාරයක් පිහිටා තිබුණේය. ඒ විහාරයෙහි මහත් වු ශ්‍රද්ධා ඇති තිස්සනාග නම් මහා තෙරුන් වහන්සේනමක් ප්‍රධානව වසන සේක. උන්වහන්සේ එක් දිනක් අමර ලෙන වසන සිව්පිළිසිඹියා පත් තිස්ස මහරහතන් වහන්සේ සමීපයට ගොස් පත්කඩය එළා වැඳ එකත්පස්ව වාඩිවුණ සේක. නේවාසික තෙරුන් වහන්සේලා ද පැමිණ මිහිරි වූ පිළිසඳර බස් කථා කොට එක් පැත්තකින් වාඩි වී උන් සේක. එවිට තිස්ස මහරහතන් වහන්සේ අවවාද වශයෙන් කියනුයේ, “ඇවැත්නි, සැදැහැයෙන් මහණ වූ ඔබවහන්සේලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව ආචාර ගෝචර සම්පන්නව වාසය කළ යුතුයි. ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුතුව සිහිනුවණින් වාසය කළ යුතුයි. ආජීව පාරිශුද්ධ සීලය ආරක්ෂා කරගත යුතුයි. මිථ්‍යා ආජීවයෙන් දුරුව කෙලෙස් තවන වීර්යය නමැති සම්පත්තියෙන් වාසය කළ යුත්තේය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදී සිව්පසය නුවණින් යුතුව පරිභෝග කරමින් ප්‍රත්‍යය සංනිශ්‍රිත සීලයෙන් වාසය කළ යුතු වන්නේ ය. මෙසේ චතුපාරිශුද්ධ සීලයෙහි පිහිටා පිරිසිදු සිල් ඇතිව වාසය කරන භාවනානුයෝගයෙන් වීර්යය කරන්නාහට මාර්ග ඵල ලැබීම වහාම සිද්ධ වන්නේය. එබැවින් ප...