Skip to main content

රජ මාලිමාවේදීම කෙස් වැටිය කපා ධ්‍යාන වැඩූ සුමේධා රහත් තෙරණින් වහන්සේ

 

සුමේධා තෙරණිය යනු එක් ආත්මයකින් නිවන් දැකි තැනැත්තියක නොවේ. ඇය දීර්ඝ සංසාරයක් පුරා පෙර බුදුවරුන් උදෙසා අසිරිමත් පින්කම් සිදුකරමින්, විමුක්තිය පිණිස උපකාරී වන ප්‍රඥාව සහ කුසල් ශක්තිය (අධිකාරී බලය) රැස්කළ උත්තමාවියකි.

​කෝණාගමන නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඇය එක්තරා කුලගෙයක උපත ලැබුවාය. එහිදී තමා හා සමාන අදහස් ඇති, ගුණවත් යෙහෙළියන් දෙදෙනෙකු (ධනඤ්ජානි සහ ඛෙමා) සමඟ එක්වී, ඇය තමන් සතු ධනය වැයකර මහා විහාරයක් (ආරාමයක්) කරවූවාය. එම ආරාමය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා පූජා කරමින් මහත් වූ කුසල් සම්භාරයක් අත්පත් කරගත්තාය.

​එම මහා පින්කමේ ආනිශංසයෙන් ඕ තොමෝ මරණින් පසු තව්තිසා දිව්‍ය ලෝකයෙහි උපන්නාය. එහි ආයුෂ කෙළවර වී, පිළිවෙළින් යාමය, තුසිතය, නිර්මාණරතිය, සහ පරනිර්මිත වසවර්තිය යන පඤ්චවිධ කාමලෝකයන්හි උපත ලබමින්, ඒ ඒ දිව්‍ය ලෝකයන්හි ඉපදුණු දිව්‍ය රාජයන්ගේ අගමෙහෙසිය බවට පත්වූවාය. සියක්දහස් වාරයක් ඇය දෙව්ලොව සහ මිනිස් ලොව උපදිමින් මහත් වූ සෘද්ධි බලයෙන් හා ඓශ්වර්යයෙන් යුක්ත වූවාය. සක්විති රජවරුන්ගේ "ස්ත්‍රී රත්නය" බවට පත්වීමට තරම් ඇය භාග්‍යවන්ත වූවාය.

​කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයෙහි ඇය බරණැස් නුවර කිකී කාසි රජුගේ දූවරුන් සත්දෙනාගේ (සමවයස් පිරිසගේ) සහායිකාවක වී උපන්නාය. එහිදී මහා සම්පත් ඇති සිටු දියණියක වූ ඇය, රත්නත්‍රය කෙරෙහි දැඩිව පැහැදී, ගිහිගෙයි වෙසෙමින්ම උතුම් බ්‍රහ්මචර්යාව (සිල් ව්‍රතයන්) රැක බුදු සසුනට බොහෝ උපස්ථාන කළාය.

මනාකොට කරන ලද ඒ පින්කමේ හේතුවෙන් මරණින් මතු චුතව තවුතිසාවේද,  එයින් පසු තුසිතයටද එයින් නිර්මාණරතියටද එයින් පසු වසවර්ති පුරයේද උප්පත්තිය ලැබුවාය. මිනිස් භවයේ උපන් සෑම තැනකදීම රජ මෙහෙසියක වූවාය.

මෙම මහා භද්‍ර කල්පයෙහි, අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඇය මන්තාවතී නුවර කොඤ්ච නම් රජුගේ දියණිය වී "සුමෙධා" යන නමින් උපන්නාය.

සුමේධා කුමරිය  උපතින්ම රැගෙන ආ පූර්ව කුසල් බලය නිසා, කුඩා කල සිටම  පරිවාර කුමාරිකාවන් හා දැසි දැස්සවුන් සමග ගොස් භික්ෂුණීන් ඇසුරට පත්ව බණ ඇසීමට ප්‍රිය කළාය. ඇය ලෞකික සැප සම්පත් කෙරෙහි කිසිදු ඇලීමක් නොදැක්වූවාය.

ඇය වැඩිවියට පත් වූ කල, දෙමව්පියන් විසින් ඇයව වාරණවතී නුවර අණිකදත්ත රජුට පාවා දීමට තීරණය කළහ. එහෙත් සසුන කෙරෙහි පැහැදී සිටි සුමෙධා කුමරිය ගිහිගෙයි ඵලක් නැති බව පවසා විවාහය ප්‍රතික්ෂේප කළාය.

දෙමව්පියන් කෙතරම් බලපෑම් කළද ඇය තම අදහස වෙනස් නොකළාය. අවසානයේ ඇය තමාම කඩුවක් ගෙන තමාගේ කේශ කලාපය (කෙස් වැටිය) කපා දැමුවාය. එම කෙස් වැටිය දෙස බලමින් "අසුභ භාවනාව" (පිළිකුල් සහගත බව) ප්‍රගුණ කළ ඇය, ක්ෂණයකින් ප්‍රථම ධ්‍යානය උපදවා ගැනීමට සමත් වූවාය.

පිය රජු සහ මව් බිසව  කෙතරම් ගතු කීවත් ගිහිගෙයි නොඇලුණු ඈ ස්ථීර අධිෂ්ඨානයක සිටියාය. එහිදී කුමරිය හා විවාහ ගිවිස සිටි අනිකදත්ත රජුද එතැනට පැමිණියහ. 

තිදෙනාම ඉල්ලිම් කලත් ඇයගේ සිත පැවිද්ද කෙරෙහි නොසැලී පැවතින. එහිදී 

"මේ අමාමහ නිවන බොහෝ දෙනා විසින් ලබාගෙන ඇත. නුවණින් මෙනෙහි කරන්නවුන්ට මෙය අදද ලබාගත හැකිය. ඒ සඳහා වෑයම් නොකරන්නවුන්ට ලබාගැනීම අපහසුය.

සංස්කාරයන් කෙරෙහි ඇල්මක් නොදක්වන්නා වූ සුමේධා කුමරිය අණිකදත්ත සනසමින් එසේ කීවාය. ඕ තම කපාගත් කෙස්වැටිය බිම හෙළුවාය.

අණිකදත්ත නැගිට ඇඳිලි බැඳගෙන විමෝක්‍ෂ සත්‍යය දක්නා වූ සුමේධා පැවිදිවීම සඳහා නිදහස් කරන්න යනුවෙන් පියාගෙන් ඉල්ලා සිටියේය.

ඉන්පසු ඔවුන්ගේ අනුමැතිය ඇතිව භික්ෂුණී ආරාමයකට ගොස් ඇය පැවිදි වූවාය.පැවිදි වී නොබෝ කලකින්ම, විදර්ශනා භාවනාව මැනවින් මුහුකුරා යාමෙන්, ඕ තොමෝ සිව්පිළිසිඹියාවන් (අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන) සහිතව උතුම් රහත්භාවයට පත්වූවාය.

​රහත් වූ සුමෙධා තෙරණිය, තමා සෘද්ධි බලයෙන් දුටු තමාගේම පූර්ව ජන්ම වෘත්තාන්තය (අපදානය) සිහිපත් කරමින් මෙසේ උදාන වැකියෙන් ගාථා ප්‍රකාශ කළාය:

​"මම කෝණාගමන බුදුන් දවස මගේ යෙහෙළියන් තිදෙනා සමඟ එක්ව බුදු පාමොක් මහා සංඝයාට අලංකාර විහාරයක් කරවා පූජා කළෙමි."

​"එම පින්කම නිසා මම සිය දහස් වාරයක් දෙව්ලොව උපන්නෙමි. මිනිස් ලොව උපත ගැන කියනුම කුමකටද? දෙව්ලොව දී මෙන්ම මිනිස් ලොව දී ද මම මහා සෘද්ධිමත්ව, ප්‍රධාන මෙහෙසිය වෙමින් උපන්නෙමි."

​"කාශ්‍යප බුදුන් දවස කිකී රජුගේ දූවරුන් සත්දෙනා සමඟ එකතුව ගිහිගෙයි වෙසෙමින්ම මම උතුම් ව්‍රතයන් පිරුවෙමි. එහි ප්‍රතිඵලයක් ලෙස මම හැම තැනකදීම මහා සැප වින්දෙමි."

​"එම පින්කම් සමුදායමයි මා නිවන කරා මෙහෙයවූ මුල් පදනම (මූලය) සහ පළමු එක්වීම (සමොධානය) වූයේ."

​"අද වන විට මා විසින් සියලු කෙලෙස් දවා අළු කර ඇත. භව ගමන නිමා කර ඇත. බැඳීම්වලින් නිදහස් වූ ඇතින්නක මෙන් මම ආශ්‍රව රහිතව (රහත්ව) වෙසෙමි."

​"මාගේ බුදුන් දැකීම  සාර්ථක විය. මම ත්‍රිවිද්‍යාව (පූර්වේනිවාසනුස්සති ඥානය, චුතූපපාත ඥානය, ආසවක්ඛය ඥානය) ලැබුවෙමි. බුදුන්ගේ අනුශාසනාව සම්පූර්ණ කළෙමි."

​"සිව් පිළිසිඹියාව ද, අටවන විමොක්ෂ සුවය ද, ෂඩ් අභිඥාවන් ද මම සාක්ෂාත් කළෙමි."

දෙව් මිනිස්සුන්ට පිංකෙතක් බඳු වූ සුමේධා රහත් තෙරණින් වහන්සේ ආයුසංස්කාරය කෙලවර පිරිනිවන් වැඩියාය. උතුම් නික්ලේශී ගුණ දැරූ බොහෝ දෙනාට හිතසුව පිණිස වූ ඒ අරහත් සුමේධා තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා..! උන්වහන්සේ සැනසුන නිවනින් අපටද සැනසීම ලැබේවා.

#තෙරණින්_වහන්සේලා #උත්තම_තෙරණි_වන්දනා #බුද්ධ_කාලයේ_භික්ෂුණින් #බුදු_සසුන #trendingpost #සුමේධා_තෙරණිය #sumedatheri

Comments

Popular posts from this blog

පහන් පූජාවෙන් නිවන් මග විවර කරගත් පඤ්චදීපා රහත් තෙරණිය

​මීට කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි, ඇය හංසවතී නගරයෙහි කුසල් දහම් සොයා ඇවිදිනා සැදැහැති උපාසිකාවක වූවාය. ​දිනක්, දැඩි අන්ධකාරයෙන් පිරි අමාවක පොහෝ දිනෙක ඇය උතුම් බෝධීන් වහන්සේ අභියසට පැමිණියාය. නිසල රාත්‍රියේ, කළුවර මැද වැඩසිටි ඒ මහා බෝ රුක දුටු ඇයට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසදෘශ වූ, ප්‍රබල ශ්‍රද්ධාවක් උපන්නාය. ඇය ඒ බෝධි මූලයෙහි  එකත් පස්ව අසුන් ගත්තාය. ​ඇය දොහොත් මුදුන් දී වැඳ, අතිශය සොම්නස් සහගත සිතින් යුතුව මෙසේ සත්‍ය ක්‍රියාවක් කළාය, ​"ඉදින් මාගේ බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ගුණ ඇති සේක් නම්, ලොව අසමසම වූ සාස්තෘන් වහන්සේ  වන සේක් නම්, මා කෙරෙහි අනුකම්පාවෙන් මට පෙළහරක් දක්වන සේක්වා! මේ මහා බෝ වෘක්ෂය ආලෝකයෙන් බබළවන සේක්වා!" ​ඇයගේ ඒ නොසැලෙන ශ්‍රද්ධාවේ බලයෙන් සහ චිත්තවේගයේ පවිත්‍රත්වය නිසා, සිතූ සැණින්ම මුළු බෝධි වෘක්ෂයම දිව්‍යමය ආලෝකයකින් ඒකාලෝක විය. සතර දිශාවම බැබළෙමින්, මුළු බෝ රුකම රනින් නිම කළාක් මෙන් දිලිසෙන්නට විය. ​මෙම පෙර නොදුටූ විරූ ප්‍රාතිහාර්යයෙන් මහත් ප්‍රීතියට පත් ඇය, සත් අහොරෑයක් (දින හතක්) පුරා ඒ බෝධි මූලයෙහිම ධ්‍යාන...

විපස්සී බුදු රදුන්ට කැවුම් පුදා කල්ප අනූ එකක්ම සුගතිගාමී වූ රෝහිණි රහත් තෙරණිය

මෙයින් මහා කල්ප අනූඑකකට පෙර ලොව පහළ වූ, තිලෝගුරු විපස්සි බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මේ පින්වත් උත්තමාවිය බන්ධුමතී නුවර එක්තරා කුලගෙයක උපත ලැබුවාය. සංසාරයේ බොහෝ පින්කම් කරමින් ආ ඕ තොමෝ, දිනක් බන්ධුමතී නගරයෙහි ශාන්ත ඉන්ද්‍රියයන්ගෙන් යුතුව, මහත් වූ බුද්ධ තේජසින් පිඬු පිණිස වඩිනා විපස්සි බුදුරජාණන් වහන්සේව දුටුවාය. ​දක්නන්ගේ නෙතට මෙන්ම සිතටද අමා නිවනක් ගෙන දුන් බුදුරජාණන් වහන්සේ දුටු සැණින් ඇගේ මුළු සිරුරම ප්‍රීතියෙන්, සොම්නසින් කිලිපොලා ගියේය. ඇය වහා දිව ගොස් මහත් වූ ශ්‍රද්ධාවෙන් තමා සන්තකයේ තිබූ කැවුම්, දානයක් ලෙස බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය පුරවා පූජා කළාය. පූජා කොට අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත්ව, උතුම් වූ පසඟ පිහිටුවා අසීමිත ශ්‍රද්ධවෙන්  බුදු සමිඳුන් අභියස වැඳ වැටුණාය. ​එක් දිනක්, එකම එක වතාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන පූජා කළ ඒ උතුම් කැවුම් දානයේ විපාකය කෙතරම් ආශ්චර්යවත්ද යත්, ​ඇය ඉන් පසු කිසිදු දිනක, එකදු ආත්මයක හෝ දුගතියකට (අපායකට) නොගියාය. ​සුගතිගාමී දෙව්ලොව උපත ලබා, තව්තිසා දිව්‍ය ලෝකයේ දේවරාජයන් තිස්හය දෙනෙකුගේ (36) ප්‍රධාන අගමෙහෙසිය වීමේ වාසනාව ලැබුවාය...

ඇතෙකුගේ පා අතර හිඳ රහත් වූ තිස්සනාග රහතන් වහන්සේ

ලක්දිව වැඩසිටි රහතන් වහන්සේලා - 7 ලංකාද්වීපයේ රුහුණු ජනපදයෙහි ‘කෙළෙඹිය’ නම් විහාරයක් පිහිටා තිබුණේය. ඒ විහාරයෙහි මහත් වු ශ්‍රද්ධා ඇති තිස්සනාග නම් මහා තෙරුන් වහන්සේනමක් ප්‍රධානව වසන සේක. උන්වහන්සේ එක් දිනක් අමර ලෙන වසන සිව්පිළිසිඹියා පත් තිස්ස මහරහතන් වහන්සේ සමීපයට ගොස් පත්කඩය එළා වැඳ එකත්පස්ව වාඩිවුණ සේක. නේවාසික තෙරුන් වහන්සේලා ද පැමිණ මිහිරි වූ පිළිසඳර බස් කථා කොට එක් පැත්තකින් වාඩි වී උන් සේක. එවිට තිස්ස මහරහතන් වහන්සේ අවවාද වශයෙන් කියනුයේ, “ඇවැත්නි, සැදැහැයෙන් මහණ වූ ඔබවහන්සේලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව ආචාර ගෝචර සම්පන්නව වාසය කළ යුතුයි. ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුතුව සිහිනුවණින් වාසය කළ යුතුයි. ආජීව පාරිශුද්ධ සීලය ආරක්ෂා කරගත යුතුයි. මිථ්‍යා ආජීවයෙන් දුරුව කෙලෙස් තවන වීර්යය නමැති සම්පත්තියෙන් වාසය කළ යුත්තේය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදී සිව්පසය නුවණින් යුතුව පරිභෝග කරමින් ප්‍රත්‍යය සංනිශ්‍රිත සීලයෙන් වාසය කළ යුතු වන්නේ ය. මෙසේ චතුපාරිශුද්ධ සීලයෙහි පිහිටා පිරිසිදු සිල් ඇතිව වාසය කරන භාවනානුයෝගයෙන් වීර්යය කරන්නාහට මාර්ග ඵල ලැබීම වහාම සිද්ධ වන්නේය. එබැවින් ප...