ලක්දිව විසූ රහතන් වහන්සේලා - 08
මේ ලංකාද්වීපයේ ‘මහතලා’ නම් විහාරයේ ත්‍රිපිටකධාරී අභය නම් මහ තෙරුන් වහන්සේනමක් වැඩ වාසය කළේ ය. පසුව අභය තෙරුන් වහන්සේ එම ග්‍රාමාන්ත සේනාසනය අත්හැර කරන ලද කුටියක වාසය කළේ ය. එසේ හෙයින් උන්වහන්සේ ‘ආරඤ්ඤක රහතන් වහන්සේ’ යැයි ප්‍රසිද්ධ වූ සේක. එකල එක් උපාසකයෙක් මහ තෙරුන් වහන්සේගෙන් බණ අසා පැහැදී දොළොස් අවුරුද්දක් මුළුල්ලෙහි සිව්පස දානයෙන් උපස්ථාන කරන්නේ ය. මෙසේ උපස්ථාන කරන ඒ උපාසකයා සෑම අවුරුද්දක ම සිවුර සඳහා වස්ත්‍ර දන් සෙයි. එය දන්නා ‘හරන්තික’ නම් සොරෙක් රාත්‍රී කාලයෙහි ගොස් දුන් දුන් වස්ත්‍ර සොරකම් කොට රැගෙන පලා යන්නේ ය. තෙරුන් වහන්සේ දිරූ සිවුරු ම පොරවාගෙන සිටි සේක. ඒ උපාසකයා එය දැක නැවතත් සිවුරු පිණිස වස්ත්‍ර දන් දී සිතනුයේ ‘මා විසින් අපේ ආර්යයන් වහන්සේට සිවුරු පිණිස බොහෝ දෙන ලදී. ඉන් සිවුරක් කොට පොරවන බව මම තාම දැක නැත්තෙමි. මෙසේ වන්නට කාරණාව කුමක්දැයි පරීක්ෂා කළ මැනවැ’ යි සිතා රාත්‍රියෙහි ආසන්න ස්ථානයක සැඟවී සිටියේ ය.
එකල හරන්තිකයා අලුත් වස්ත්‍ර දුන් බව දැන රාත්‍රියෙහි විහාරයට අවුත් වස්ත්‍ර තිබූ තැනින් අරගෙන නැවතත් සැක නැතිව එම මගින් ම එමින් සිටියේ ය. එකල උපාසක, බඩු සමඟ හොරා දැක අල්ලාගෙන “මෙතෙක් කල් මා තෙරුන් වහන්සේට දුන් වස්ත්‍ර ගත්තේ බොල තෝ නොවේ දැ?” යි අසා අතින් පයින් තලා, දුර්වල කොට අමු සොහොනකට ඇදගෙන ගොස් මළමිනියක් යටිකුරු කොට ඔහුගේ පිටේ උඩුකුරු කොට හොවා ලිහා ගත නොහැකි පරිදි දැඩි කොට බැඳ ගමට අවුත් කියනුයේ, “පින්වත් ගම්වැසියනි, මාගේ වචනය අසව්. අද රාත්‍රී එක් අමනුෂ්‍යයෙක් එයි. නුඹලාට මහා විනාශයක් කරන්නේ ය. එබැවින් කල් තබා ගෙවල්වලට ගොස් දොරවල් වසාගෙන හිඳිව්. ඒ යක්ෂයා ‘මම අසුවලා වෙමි, අසුවලාගේ නෑයා ය, මිත්‍රයා ය’ ආදිය කියා කතා කරන්නේ නමුදු ඔහු හා සමඟ කතා නොකරව.’ යි කියා නිවසට ගියේ ය. ඔහුගේ බස් අසා ගම්වැසි මනුෂ්‍යයෝ බයින් තැතිගෙන වේලාසනින් ම ගෙවල්වලට ගොස් දොර වසාගෙන සිටියහ. රාත්‍රියෙහි සොරාට මළමිනිය මුදාගත නොහැකි වූයේ එය සමඟ ම තමන්ගේ දොරකඩට ගොස් බිරිඳ ඇමතී ය. ‘මම හරන්තික වෙමි’ යි කී ය. එසේ කීව ද ඔහුගේ බිරිඳ තව තවත් බිය වී කතා නොකොට සිටියා ය. නොයෙක් කාරණා කීවත් දොර ඇරගත නොහැකි වූ විට තමාගේ දෙමාපියන්ගේ ද සෙසු නෑයන්ගේ ද යහළු මිත්‍රයන්ගේ ද ගෙවලවලට වෙන වෙනම ගොස් එසේ දොර අරවා ගන්නට නොහැකි විය. ගිය ගිය තැන මිනිස්සු අමනුෂ්‍යයා ඇවිත් යැයි බියෙන් දොරවල් විවෘත නොකළහ. මෙසේ හරන්තික සොරා කිසිම පිහිටක් නැතිව සිට ‘තෙරුන් වහන්සේ සමීපයට ම යමි’ යි සිතා විහාරයට ම ගොස් “ස්වාමීනි, මේ දාසයාට ඔබ වහන්සේ ම පිහිට වන්න. මේ මළසිරුර මුදවා මා සුවපත් කළ මැනවැ” යි කීහ. මහතෙරුන් වහන්සේ ඔහු දැක අනුකම්පා උපදවා වහා නිදහස් කොට කරුණාවෙන් යුතුව උණු පැනින් නහවා ශරීරයේ තෙල් ගල්වා පහර දුන් තැන් තවමින් සිටියේ ය. සොරාට බැට දුන් උපාසක සොරා කොහි ගියේ දැයි සොයමින් විහාරයට ආයේ ය. සොරාගේ පිට තෙල් ගා තවමින් සිටි උන්වහන්සේ දැක කියනුයේ “ස්වාමීනි, ඔය සොරෙකි. උපකාර නොකළ මැනව. ස්වාමීනි, යම් සත්පුරුෂයෙක් අසත්පුරුෂයෙකුට කවර නම් උපකාරයක් කළේ වී නමුත් එය සිහි නොකරයි. එසේ හෙයින් සොරා සමඟ යහළුකමක් නැත. කමින් බොමින් එකට නිදමින් සිටියත් සොරා තමන්ගේ ස්වභාවය අත් නොහරී. සොරා කටින් එකක් කියයි. වෙනෙකක් කරයි. වංචා සිත් ඇති සොරා ඉඩක් ලැබුණු විගස උපකාර කළවුන්ගේ වස්තුව ද සොරකම් කරයි. මව්පියෝ ද නෑයෝ ද මිතුරෝ ද සොරා දැක දුරින් ම දුරු කරත්. සොරා සමඟ එක් වීම සැක කරති.” යි මෙසේ සොරුන්ගේ නුගුණ ප්‍රකාශ කොට කියා, “ස්වාමීනි, මෙබඳු අනුන්ගෙ වස්තුව පැහැර ගන්නා මිත්‍රද්‍රෝහියාට උපකාර නොකරනු මැනවි. පලවා හරිනු මැනවැ” යි කීවේ ය. “උපාසකය, යම් බල්ලෙක් යමෙකුගේ පාදය සපා කෑවත් ඔහු බල්ලාගෙ පාදය සපා නොකයි. මෙසේ ම අසත්පුරුෂයා කවර තරම් අපරාධයක් කළ ද සත්පුරුෂයා නපුරක් නොසිතා යහපත ම කිරීම බුදු පසේබුදු මහරහත් උත්තමයන් විසින් ප්‍රශංසා කරන ලද්දේ ය. මේ ලෝකයෙහි යම්කිසි උතුමෙක් කෙළෙහිගුණ නොදන්නා අසත්පුරුෂයන් කෙරෙහි මෛත්‍රී නොකරන්නාහු වී නම් ඔහු කවුරුන්ට මෛත්‍රී කරත්දැ? අසත්පුරුෂයින්ට මෛත්‍රී කිරීම සත්පුරුෂයන්ගෙ ස්වභාව ධර්මයක් ම ය. කිසියම් කෙනෙක් අසත්පුරුෂයන්ට මෛත්‍රී කරන්නාහු වී නම් එය ම උතුම් වූ මෛත්‍රිය යි. පින්වත් උපාසකය, මොහු හට සොරකම් කරන ද්‍රෝහියා යැයි නොසිතා මෛත්‍රී කරව. මොහු තමන් කළ සොරකමෙහි විපාක මෙම ජීවිතයේ දී ම ලද්දේ වේ දැ” යි වදාරා උපාසකයාණන්ට අවවාද කොට පිටත් කළ සේක.
එයින් කිහිප දවසක් ගිය කල හරන්තිකයා සුවපත් ව අභය රහතන් වහන්සේ කරා පැමිණ වැඳ “ඔබ වහන්සේ නිසා වෙනස් ජීවිතයක් ලැබුවෙමි. නැවත ගිහිගෙයි වැසිය නොහැක්කෙමි. මෙතෙක් කල් සොරකම් කොට රැස්වුණු අකුසල් කර්මය ගෙවි යන පරිද්දෙන් තවත් මා කෙරෙහි අනුකම්පා උපදවා මහණ කොට වදාළ මැනවැ” යි ඉල්ලා සිටියේ ය. ඒ අසා කරුණා පාර්ශව වූ තෙරුන් වහන්සේ ඔහුව මහණ කොට උපසම්පදා කරවූ සේක. එතැන් පටන් උන්වහන්සේ වත පිළිවෙතෙහි යෙදී අප්‍රමාදී ව භාවනා කොට නොබෝ කලකින් ම රහත්ව ‘හරන්තික රහතන් වහන්සේ’ යැයි ප්‍රසිද්ධ වූ සේක. අහෝ…! බුදු සසුන ආශ්චර්යය වූ සේක. මෙසේ වැරදි මග ගිය, නොයෙක් අකුසල් කිරීමෙහි යෙදී සිටි සොරෙකුට පවා පිහිට පිළිසරණ ලැබුණි. තථාගතයන් වහන්සේගේ ධර්මය තුළින් සියලු කෙලෙස් නසා, සියලු පව් බැහැර කරවූ සේක. ඒ තථාගත ශ්‍රී සද්ධර්මය හදවතේ දරාගෙන අප්‍රමාණ කරුණාවෙන් යුතුව දයාවෙන් හා අනුකම්පාවෙන් ආරඤ්ඤක අභය රහතන් වහන්සේ වැඩ විසූ සේක. උන්වහන්සේගේ හදමඬලින් පැන නැගුණු මෛත්‍රී නමැති සිසිල් දිය දහරාවෙන් තෙමී ගිය තෙරහුගේ පවා සසර දුක්ගිනි නිවුණු සේක. මෙසේ ලංකාද්වීපය එළිය කරමින් වැඩ සිටි උන්වහන්සේ ආයු ඇති තාක් වැඩහිඳ පිරිනිවන් පෑ සේක.
අසත්පුරුෂයන්ට පවා මෛත්‍රී කරන පරම දයාවෙන් යුතුව වැඩ විසූ, ත්‍රිපිටකධාරී වූ, බුදුරජුන්ගේ හදමඬලින් උපන් ඖරස පුත්‍ර රත්නයක් වන, ලංකාද්වීපය සුවඳ කළ පුෂ්පයක් බඳු වූ, ලක්දිව පහළ වුණු මුනිවරයෙක් වන ආරඤ්ඤක රහතන් වහන්සේට නමස්කාර වේවා! උන්වහන්සේගේ ඇසුරේ වාසය කළ, සියලු වරදින් මිදී සසර දුක් ගිනි නිවා ගත් හරන්තික රහතන් වහන්සේට ද නමස්කාර වේවා…!
අටුවා කතා ඇසුරින් සංස්කරණය කරන ලදී.
#ලක්දිව_බුදුසසුන #උත්තම_තෙරණි_වන්දනා #රහතන්_වහන්සේලා #ආරඤ්ඤක_අභය_රහතන්_වහන්සේ #හරන්තික_රහතන්වහන්සේ #buddhistbhikku
Comments
Post a Comment