Skip to main content

ධර්ම කථික භික්ෂුණින් අතර අග්‍ර වූ චූල වේදල්ල සූත්‍රය දේශනා කල ​ධම්මදින්නා මහ රහත් තෙරණිය

 

ධර්ම කථික භික්ෂුණින් අතර අග්ර වූ චූල වේදල්ල සූත්රය දේශනා කල ​ධම්මදින්නා මහ රහත් තෙරණිය
 

 
​"ඡන්දජාතා අවසායී" ආදී වශයෙන් ආරම්භ වන ගාථාවන්ගෙන් ශෝභමාන වන්නේ ධර්මකථික භික්ෂුණීන් අතර අග්රස්ථානය හෙබවූ ධම්මදින්නා අරහත් තෙරණියන්ගේ උදාන ප්රකාශනයයි.
​තෙරණියන්ගේ සංසාරික ප්රවෘත්තිය දෙස බලන කල, මෙයින් කල්ප සියක්දහසකට (ලක්ෂයකට) පෙර පදුමුත්තර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ හංසවතී නගරයෙහි අතිශය දුප්පත්, අනුන්ට බැලමෙහෙකම් කරමින් පරාධීන ජීවන වෘත්තියක් ගෙවූ කුලයක උපන්නාය. ඇය දක්ෂ වූ, සීලසම්පන්න වූ, දිය අදින ස්ත්රියක් ලෙස ජීවත් වූවාය. එක් දිනක් ඇය පැන් කළය ද ගෙන යන විට, පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අග්රශ්රාවක වූ, නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි සුජාත මහා තෙරණුවන් වහන්සේ විහාරයෙන් නික්ම පිඬු පිණිස වඩිනු දුටුවාය. 
 
උන්වහන්සේ දැක සිත අතිශයින් පහදාගෙන, තමන් සතු වූ කැවුම් සියතින්ම පූජා කළාය. මහතෙරණුවෝ එතැනම හිඳ ඒ කැවුම් වැළඳූ අතර, අනතුරුව ඇය උන්වහන්සේව තමන්ගේ ගෙදරට කැඳවාගෙන ගොස් සාදරයෙන් ආහාර පිළිගැන්වූවාය. ඒ කළා වූ පිනෙහි මහිමයෙන් හා ඇගේ ගුණසම්පන්න භාවය නිසා පැහැදුණු ඇගේ හාම්පුතා ඇයව තමන්ගේ නිවසෙහි නිදහස් තැනැත්තියක (යෙහෙලියක) කොට අභිෂේක කළේය.
 
​පසු කලෙක ඇය සැමියා සමඟ ගොස් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඳ පුදා ධර්මය ශ්රවණය කළාය. එහිදී භාග්යවතුන් වහන්සේ එක්තරා භික්ෂුණියක් ධර්මකථික භික්ෂුණීන් අතර අග්රස්ථානයෙහි තබනු දැක, අතිශයින් පැහැදී සංඝයා සහිත බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට මහා දානමය පුණ්යකර්මයක් පවත්වා ඒ උතුම් ධර්මකථික අග්රස්ථානය ප්රාර්ථනා කළාය.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ද ඇගේ ප්රාර්ථනාව දැක: "මෙයින් කල්ප සියක්දහසකට පසු ඔක්කාක වංශයෙහි උපදින ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ඔබ ‘ධම්මදින්නා’ නමින් අග්ර වූ ධර්මකථික ශ්රාවිකාව වන්නීය" යි නියත විවරණ වදාළ සේක. එය ඇසීමෙන් මහත් ප්රීතියට පත් ඇය ජීවිතාවසානය දක්වාම සිව්පසයෙන් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කොට, එයින් චුතව තව්තිසා දෙව්ලොව උපන්නාය.
 
​ඊට පසු ඵුස්ස නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේදී, වෙනස් මව්වරුන් ඇති සොහොයුරන්ගේ කර්මාන්තශාලා භාරකරුගේ ගෙදර උපන්නාය. එහිදී "දන් පිණිස එකක් දෙව" යි සැමියා විසින් කියන ලද කල්හි, ඇය මහත් වූ ශ්රද්ධාවෙන් යුතුව දෙකක්ම දන් දී බොහෝ පින් රැස් කරගත්තාය.
​ඉන්පසුව, මේ භද්ර කල්පයෙහි පහළ වූ කාශ්යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි, බරණැස් නුවර කිකී නම් වූ කාසි රජතුමාගේ ගෙයි පිළිසිඳගෙන, රජුගේ සතළොස් දහසක් බිසෝවරුන් අතරෙන් වූ දියණියන් සත්දෙනා අතුරින් ‘සුධම්මා’ නම් වූ පස්වන රාජකන්යාව වී උපන්නාය. ඇයගේ සොහොයුරියන් වූයේ සමණගුත්තා, භික්ඛුදාසිකා, ධම්මා, සංඝදාසිකා, (ඛේමා, උප්පලවණ්ණා, පටාචාරා, කුණ්ඩලා, ගෝතමී, විසාඛා) යන පූර්ව ආත්මයන්හි සිටි උතුම් කන්යාවන්ය. ඇය බුදුන්ගෙන් බණ අසා පැවිදිවීමට කැමති වූවත් පියාගෙන් අවසර නොලැබුණු බැවින්, අවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනගාරික බඹසර රකිමින් මහත් වූ බුද්ධෝපස්ථානයෙහි නිරතව විසුවාය.
 
​ඒ කුසල කර්මයන්ගේ මහිමයෙන් දෙව් මිනිස් ලෝවල සැරිසරා, අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මගධ රට රජගහනුවර සකල සම්පත්තියෙන් ආඪ්ය වූ මහසල් සිටුකුලයක උපන්නාය. ඇය රූපයෙන් හා ගුණධර්මයන්ගෙන් පිරිපුන්ව, යෞවන වියට පත්වූ කල්හි මහත් වූ විසාඛ සිටුවරයා සමඟ විවාහ වූවාය.
 
​එක් දිනක් විසාඛ සිටුවරයා බුදුරජාණන් වහන්සේ වෙතින් ධර්මය ශ්රවණය කොට අනාගාමී ඵලයට පැමිණියේය. හෙතෙම පෙරළා ගෙදර පැමිණ පහයට නගින විට, හිණිපෙළ කෙළවර සිටි ධම්මදින්නාවන්ගේ දිගු කළ අතෙහි නොඇල්ලූ අතර, ආහාර ගන්නා විට ද කිසිදු කතාවක් නැතුව නිහඬවම වැළඳුවේය. ඔහුගේ මේ වෙනස දුටු ධම්මදින්නා:
"ආර්ය පුත්රය, කුමක් හෙයින් අද මාගේ අතෙහි නොඑල්බී පහයට නැග්ගේද? නිහඬවම අහර ගන්නේ මගෙන් වූ වරදක් නිසාද?" යි විචාළාය. 
 
එවිට විසාඛ සිටුතුමා: "ධම්මදින්නා, ඔබ කළ වරදක් නැත. මම අද බුදුරජාණන් වහන්සේගෙන් උතුම් ධර්මයක් ඇසුවෙමි. අද පටන් මම ස්ත්රී ශරීරයක් ස්පර්ශ කිරීමට හෝ ආහාරයන්හි ලොල් බවක් කිරීමට හෝ නොසුදුස්සෙක්මි. ඔබ කැමති නම් මේ මාලිගයේම වෙසෙන්න, නැතහොත් කැමති තාක් ධනය ගෙන දෙගුරුන්ගේ ගෙදරට යන්න" යි කීය. එවිට ධම්මදින්නා: "ආර්ය පුත්රය, ඔබ විසින් වමනය කළ දෙය නැවත කටේ දමා ගැනීමට මම නොකැමැත්තෙමි. මට ද පැවිදි වීමට අවසර දෙනු මැනවි" යි ඉල්ලා සිටියාය. විසාඛ සිටුතුමා අතිශයින් සතුටු වී, ඇයව රන්සිවි ගෙයකින් අලංකාර ලෙස භික්ෂුණී ආරාමයකට යැවීය.
​ඇය භික්ෂුණී අරමෙහි පැවිදි වී, කමටහන් ගෙන කිහිප දිනක් එහි වැස, ජනගහණයෙන් පිරි ස්ථානයෙහි සිත නොඇලෙන බැවින්, විවේකී අරණ්යයකට යනු කැමැත්තී ආචාර්ය උපාධ්යාය තෙරණීන්ගේ අවසරයෙන් පිටිසර ගමක වූ අරමකට ගියාය. ඇය එහි වසමින් අතීත සංසාරයේ ප්රගුණ කරන ලද විදර්ශනා භාවනා බලයෙන්, නොබෝ කලකින්ම සිව්පිළිසිඹියා පත් මහත් වූ අරහත්වයට පැමිණ වදාළාය.
​අපදාන පාළියෙහි ධම්මදින්නා තෙරණින් වහන්සේගේ ප්රකාශනය මෙසේ සඳහන් වේ:
​මෙයින් කල්ප සියක්දහසකට පෙර සියලු ධර්මයන්ගේ පරතෙරට පැමිණියා වූ පදුමුත්තර නම් බුදුහු ලොව පහළ වූහ.
 
​එකල මම හංසවතී නුවර එක්තරා කුලයක ඉපිද දක්ෂ වූයෙම්, සීලසම්පන්න වූයෙම්, අනුන්ට බැලමෙහෙකම් කරමින් ජීවත් වූයෙමි.
​පදුමුත්තර බුදුන්ගේ අග්රශ්රාවක වූ සුජාත තෙරණුවෝ විහාරයෙන් නික්ම පිඬු පිණිස යති.
​එකල දිය අදින්නා වූ මම කළය ගෙන පැන් සඳහා යන්නෙම්, උන්වහන්සේ දැක පැහැදුනෙම්, සියතින් කැවුම් පිදීමි.
 
​එය පිළිගත් උන්වහන්සේ එතැන්හිම හිඳ එය වැළඳූහ. ඉක්බිති ගෙට කැඳවාගෙන ගොස් ආහාර පිළිගැන්වීමි.
​එයින් පැහැදුණා වූ මගේ හාම්පුතා මා ළෙහිලිය කරගත්තේය. ඉක්බිති මම සැමියා සමඟ ගොස් බුදුන් වැඳීමි.
​එවිට උන්වහන්සේ එක්තරා භික්ෂුණියක් ධර්මකථික තනතුරෙහි තැබූහ. එය දුටු මම අතිශයින් පැහැදී,
​සංඝයා සහිත බුදුන් නිමතා (ආරාධනා කොට) මහාදානයක් දී ඒ තනතුර ප්රාර්ථනා කළෙමි.
​ඉක්බිති ඒ සුගතයන් වහන්සේ ගැඹුරු මධුර ස්වරයෙන් මෙසේ වදාළහ: "මා ඇතුළු සංඝයාට දන් දුන්නා වූ ඔබ උවටැන් කිරීමෙහි නියැළුණාවෙහිය.
 
​ගුණයෙන් වැඩුණු මනස ඇති, බණ ඇසීමෙහි නියුතු වූ තැනැත්තිය, ඔබ සතුටු වන්න. අභිප්රේත ඵලය ලබාගනු මැනව.
​මෙයින් කල්ප සියක්දහසකට පසු ඔක්කාක වංශයෙහි උපන් ගෞතම නම් වූ පුද්ගලයෙක් ලෝකයෙහි නායකයා වන්නාහුය.
​උන්වහන්සේගේ ධර්මය දායාද කොට ඇති, ධර්මයෙන්ම නිමවූවක් වැනි වූ ධම්මදින්නා නම් වූ ඔබ ශාස්තෲ ශ්රාවිකාවක් වන්නීය."
​එය ඇසීමෙන් තුටුපහටු වූ මම ඒ මහා මුනිවරයන් වහන්සේට ජීවිතාවසානය දක්වා මෙත් සිතින් සිවුපසයෙන් උපස්ථාන කළෙමි.
 
​ඒ යහපත් ක්රියාව ද මනෝප්රණිධිය ද හේතුකොටගෙන මිනිස් සිරුර අතහැර තවුතිසා දෙව්ලොවට ගියෙමි.
​මේ භද්ර කල්පයෙහි බ්රහ්ම බන්ධු වූ මහා යශස් ඇති නමින් කස්සප වූ බුදුවරයෙක් පහළ විය.
​එකල උතුම් වූ බරණැස් නුවර කිකී නම් වූ කාසි රජතුමා උන්වහන්සේගේ උපස්ථායකයා විය.
​මම ඔහුගේ සවන දියණිය සුධම්මා නම් වීමි. බුදුන්ගෙන් බණ අසා පැවිද්ද කැමති වීමි.
​මගේ පියා එය අනුනොදත්තෙන් එකල මම අවුරුදු විසිදහසක් අනලස්ව විසීමි.
​සුවසේ වැඩුණු, රාජකන්යාවන් වූ, බඹසර හැසිරෙන කුමරියන් වූ, බුද්ධෝපස්ථානයෙහි නිරත වූ දුවරු සත්දෙනෙක් වූහ.
 
​සමණගුත්තා, භික්ඛුදාසිකා, ධම්මා, සුධම්මා, සංඝදාසිකා යන අය සමඟ, ඛේමා, උප්පලවණ්ණා, පටාචාරා, කුණ්ඩලා, ගෝතමී, විසාඛා හා මම යනුවෙන් සත්දෙනෙක් වීමු.
​එකල මා විසින් කරන ලද්දා වූ පින්කම් හේතුවෙන් මිනිස් සිරුර අත්හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
​දැන් මගේ මේ අන්තිම ආත්ම භාවයෙහි උතුම් වූ මගධයෙහි සියලු සැපතින් අනුන වූ සිටුකුලයක උපන්නෙමි.
 
​රූපයෙන් හා ගුණයෙන් යුක්ත වූ ප්රථම යෞවනයෙහි සිටියා වූ සැමියාගේ ගෙදරට ගොස් සුවසේ විසුවෙමි.
​මගේ බුද්ධිමත් වූ ඒ සැමියා ධර්මදේශනාව අසා අනාගාමි ඵලයට පැමිණියේය.
​එකල්හි මම අනුදැනුම ලබා අනගාරික ශාසනයෙහි පැවිදි වීමි. නොබෝ කලෙකින් රහත්බව ලැබුවෙමි.
​එකල්හි ඒ උපාසක තෙමේ මා වෙත පැමිණ ගැඹුරු වූ නිපුණ වූ ප්රශ්න විචාළේය. මම ඒ ප්රශ්න සියල්ලම පැහැදිලි කර දුනිමි.
 
​බුදුන්වහන්සේ ඒ ගුණයෙහි පැහැදී ධර්මය විස්තර කිරීමෙහි දක්ෂ වූ මෙවැනි අන් භික්ෂුණියක් නැතැයි මා එහි අගතැනට පත්කළහ.
​"ධම්මදින්නා යම්බඳු ධීර තැනැත්තියක් වීද, මහණෙනි එය එසේම සැලැකිය යුතුය" යනුවෙන් බුදුහු වදාළහ. බුදුන්ගේ අනුකම්පාව නිසා මම පඬිවරියක් වීමි.
​බුදුන් වදාළ පරිදි ධර්මය පුහුණු කළෙමි. බුදුන්ගේ අවවාදය ඉටු කළෙමි. ගැඹුරු බර බහාතැබීමි. භවයට පමුණුවන කෙලෙස් නැති කළෙමි.
​යම් අරමුණක් සඳහා අනගාරික සාසනයෙහි පැවිදි වීම්ද, ඒ අරමුණ ඉටු කළෙමි. සියලු සංයෝජන විනාශ කළෙමි.
 
​සෘද්ධි බලය ලැබුවෙමි, දිව්කන් ලැබීමි. බුදුන්ගේ අනුශාසනය පිළිපදින්නා වූ මම පරසිත් දනිමි.
​පෙර විසූ කඳපිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කළෙමි, සියලු ආශ්රවයන් ක්ෂය කොට පිරිසිදු වීමි.
​මගේ කෙලෙස් දවාලූයෙමි -පෙ- බුදුන්ගේ අනුශාසනය ඉටු කළෙමි.
 
​රහත්බවට පැමිණි ධම්මදින්නා තෙරණියෝ: "මාගේ මනදොළ සපිරිණි. දැන් මෙහි වෙසෙමින් කුමක් කරම්ද? රජගහ නුවරට ගොස් බුදුන් වඳිමි, මාගේ නෑයෝ ද බොහෝ පින් රැස් කරගන්නාහුය" යි සිතා භික්ෂුණීන් සමඟ රජගහ නුවරටම පෙරළා පැමිණියාය. විසාඛ උපාසක තෙමේ ඇයගේ පැමිණීම අසා, ඇයගේ මාර්ගඵල අධිගමය විමසනු පිණිස ඇය වෙත එළඹ, පඤ්චස්කන්ධය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිරෝධ සමාපත්තිය ආදී අතිශය ගැඹුරු වූ, නිපුණ වූ ප්රශ්න විචාළේය. ධම්මදින්නා තෙරණියෝ මුවහත් සැතකින් කුමුදුබට සිදින්නාක් මෙන් අතිශය නිරවුල් ලෙස ඇසූ ඇසූ ප්රශ්න සියල්ල විසඳා වදාළාය.
​විසාඛ තෙමේ තමන් ඇසූ ප්රශ්න සහ ධම්මදින්නා තෙරණියන් දුන් සියලු පිළිතුරු බුදුරජාණන් වහන්සේට සැලකළේය. බුදුරජාණන් වහන්සේ: "විසාඛ, ධම්මදින්නා භික්ෂුණිය මහත් ප්රඥා ඇති පණ්ඩිත භික්ෂුණියකි. මගෙන් ඇසුව ද මම පිළිතුරු දෙන්නේ ද ඇය දුන් ආකාරයෙන්ම ය" යි පසසමින්, ඇගේ දේශනාව සර්වඥතා ඥානය සමඟ සසඳමින් අනුමත කර වදාළ සේක. ඒ උතුම් ධර්ම සාකච්ඡාව ‘චුල්ලවේදල්ල සූත්රය’ ලෙස ත්රිපිටකයට ඇතුළත් වූ අතර, බුදුරජාණන් වහන්සේ ධම්මදින්නා තෙරණියන්ව ධර්මකථික භික්ෂුණීන් අතර අග්රස්ථානයෙහි තබා වදාළ සේක.
 
​ඇය පිටිසර ගැමි අරමෙහි වසමින් මාර්ගඵලයන්ගේ අනුපූර්ව අවස්ථාවන් ප්රත්යක්ෂ කිරීමෙන් පසු, අග්රමාර්ගය වූ අරහත් මාර්ගය උදෙසා විදසුන් වඩා මෙසේ උදාන ගාථා වදාළාය:
​ඡන්දජාතා අවසායී, මනසා ච ඵුටා සියා;
කාමෙසු අප්පටිබද්ධචිත්තා, උද්ධංසොතාති වුච්චතීති.
​(නිර්වාණය උදෙසා හටගත්තා වූ දැඩි ආශාව ඇති, අරහත් ඵලයෙන් නිමාවට පත් වූ, එය ප්රඥා මනසින් ස්පර්ශ කළා වූ, පංච කාමයන්හි නොබැඳුණු සිතින් යුක්ත වූ තැන්පත්ව සිටින තැනැත්තිය, සසර උඩුගං බලා යන ‘උද්ධංසෝත’ තැනැත්තියයි කියනු ලැබේ.)
 
ඛුද්දක නිකායේ ථේරිගාථා අට්ඨකතාවේ එන​ධම්මදින්නා ථේරීගාථා වර්ණනාව නිමාවට පත් විය.
මෙසේ තුන්ලෝකයටම සෙත සලසමින්,ධර්ම දේශනා මඟින් උතුම් සම්බුද්ධ ශාසනය අස්සක් මුල්ලක් නෑර ව්යාප්ත කළා වූත්, සකල ලෝකයටම උත්තරීතර පින්කෙතක් වූත් නික්ලේශී ධම්මදින්නා අරහත් තෙරණින් වහන්සේ ආයුසංස්කාරය අවසානයේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් අම නිවනට වැඩ වදාළ සේක. ඒ අසංඛෙය්ය ආර්ය ගුණයෙන් සමන්නාගත ධම්මදින්නා මහ රහත් මෙහෙණින් වහන්සේට මාගේ ශිර්ෂප්රණාම පූර්වක නමස්කාරය වේවා!
 

Comments

Popular posts from this blog

පහන් පූජාවෙන් නිවන් මග විවර කරගත් පඤ්චදීපා රහත් තෙරණිය

​මීට කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි, ඇය හංසවතී නගරයෙහි කුසල් දහම් සොයා ඇවිදිනා සැදැහැති උපාසිකාවක වූවාය. ​දිනක්, දැඩි අන්ධකාරයෙන් පිරි අමාවක පොහෝ දිනෙක ඇය උතුම් බෝධීන් වහන්සේ අභියසට පැමිණියාය. නිසල රාත්‍රියේ, කළුවර මැද වැඩසිටි ඒ මහා බෝ රුක දුටු ඇයට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසදෘශ වූ, ප්‍රබල ශ්‍රද්ධාවක් උපන්නාය. ඇය ඒ බෝධි මූලයෙහි  එකත් පස්ව අසුන් ගත්තාය. ​ඇය දොහොත් මුදුන් දී වැඳ, අතිශය සොම්නස් සහගත සිතින් යුතුව මෙසේ සත්‍ය ක්‍රියාවක් කළාය, ​"ඉදින් මාගේ බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ගුණ ඇති සේක් නම්, ලොව අසමසම වූ සාස්තෘන් වහන්සේ  වන සේක් නම්, මා කෙරෙහි අනුකම්පාවෙන් මට පෙළහරක් දක්වන සේක්වා! මේ මහා බෝ වෘක්ෂය ආලෝකයෙන් බබළවන සේක්වා!" ​ඇයගේ ඒ නොසැලෙන ශ්‍රද්ධාවේ බලයෙන් සහ චිත්තවේගයේ පවිත්‍රත්වය නිසා, සිතූ සැණින්ම මුළු බෝධි වෘක්ෂයම දිව්‍යමය ආලෝකයකින් ඒකාලෝක විය. සතර දිශාවම බැබළෙමින්, මුළු බෝ රුකම රනින් නිම කළාක් මෙන් දිලිසෙන්නට විය. ​මෙම පෙර නොදුටූ විරූ ප්‍රාතිහාර්යයෙන් මහත් ප්‍රීතියට පත් ඇය, සත් අහොරෑයක් (දින හතක්) පුරා ඒ බෝධි මූලයෙහිම ධ්‍යාන...

විපස්සී බුදු රදුන්ට කැවුම් පුදා කල්ප අනූ එකක්ම සුගතිගාමී වූ රෝහිණි රහත් තෙරණිය

මෙයින් මහා කල්ප අනූඑකකට පෙර ලොව පහළ වූ, තිලෝගුරු විපස්සි බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මේ පින්වත් උත්තමාවිය බන්ධුමතී නුවර එක්තරා කුලගෙයක උපත ලැබුවාය. සංසාරයේ බොහෝ පින්කම් කරමින් ආ ඕ තොමෝ, දිනක් බන්ධුමතී නගරයෙහි ශාන්ත ඉන්ද්‍රියයන්ගෙන් යුතුව, මහත් වූ බුද්ධ තේජසින් පිඬු පිණිස වඩිනා විපස්සි බුදුරජාණන් වහන්සේව දුටුවාය. ​දක්නන්ගේ නෙතට මෙන්ම සිතටද අමා නිවනක් ගෙන දුන් බුදුරජාණන් වහන්සේ දුටු සැණින් ඇගේ මුළු සිරුරම ප්‍රීතියෙන්, සොම්නසින් කිලිපොලා ගියේය. ඇය වහා දිව ගොස් මහත් වූ ශ්‍රද්ධාවෙන් තමා සන්තකයේ තිබූ කැවුම්, දානයක් ලෙස බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය පුරවා පූජා කළාය. පූජා කොට අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත්ව, උතුම් වූ පසඟ පිහිටුවා අසීමිත ශ්‍රද්ධවෙන්  බුදු සමිඳුන් අභියස වැඳ වැටුණාය. ​එක් දිනක්, එකම එක වතාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන පූජා කළ ඒ උතුම් කැවුම් දානයේ විපාකය කෙතරම් ආශ්චර්යවත්ද යත්, ​ඇය ඉන් පසු කිසිදු දිනක, එකදු ආත්මයක හෝ දුගතියකට (අපායකට) නොගියාය. ​සුගතිගාමී දෙව්ලොව උපත ලබා, තව්තිසා දිව්‍ය ලෝකයේ දේවරාජයන් තිස්හය දෙනෙකුගේ (36) ප්‍රධාන අගමෙහෙසිය වීමේ වාසනාව ලැබුවාය...

ඇතෙකුගේ පා අතර හිඳ රහත් වූ තිස්සනාග රහතන් වහන්සේ

ලක්දිව වැඩසිටි රහතන් වහන්සේලා - 7 ලංකාද්වීපයේ රුහුණු ජනපදයෙහි ‘කෙළෙඹිය’ නම් විහාරයක් පිහිටා තිබුණේය. ඒ විහාරයෙහි මහත් වු ශ්‍රද්ධා ඇති තිස්සනාග නම් මහා තෙරුන් වහන්සේනමක් ප්‍රධානව වසන සේක. උන්වහන්සේ එක් දිනක් අමර ලෙන වසන සිව්පිළිසිඹියා පත් තිස්ස මහරහතන් වහන්සේ සමීපයට ගොස් පත්කඩය එළා වැඳ එකත්පස්ව වාඩිවුණ සේක. නේවාසික තෙරුන් වහන්සේලා ද පැමිණ මිහිරි වූ පිළිසඳර බස් කථා කොට එක් පැත්තකින් වාඩි වී උන් සේක. එවිට තිස්ස මහරහතන් වහන්සේ අවවාද වශයෙන් කියනුයේ, “ඇවැත්නි, සැදැහැයෙන් මහණ වූ ඔබවහන්සේලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව ආචාර ගෝචර සම්පන්නව වාසය කළ යුතුයි. ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුතුව සිහිනුවණින් වාසය කළ යුතුයි. ආජීව පාරිශුද්ධ සීලය ආරක්ෂා කරගත යුතුයි. මිථ්‍යා ආජීවයෙන් දුරුව කෙලෙස් තවන වීර්යය නමැති සම්පත්තියෙන් වාසය කළ යුත්තේය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදී සිව්පසය නුවණින් යුතුව පරිභෝග කරමින් ප්‍රත්‍යය සංනිශ්‍රිත සීලයෙන් වාසය කළ යුතු වන්නේ ය. මෙසේ චතුපාරිශුද්ධ සීලයෙහි පිහිටා පිරිසිදු සිල් ඇතිව වාසය කරන භාවනානුයෝගයෙන් වීර්යය කරන්නාහට මාර්ග ඵල ලැබීම වහාම සිද්ධ වන්නේය. එබැවින් ප...